YouVersion Logo
Search Icon

හෙබ්‍රෙව් 13

13
විශේෂ අනුශාසනා
1සහෝදර ස්නේහය පවතීවා. 2ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය. 3නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න. 4විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. 5නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ. 6මෙසේ:
ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය;
මම භය නොවන්නෙමි;
මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද?
කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.
සභාවේ ප්‍රධානීන්ට යටත්වීම
7දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න. 8යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය. 9අනේකාකාරවූ අමුතු ඉගැන්වීම් කරණකොටගෙන අහකට ගෙනයනු නොලබන්න. මක්නිසාද කෑම ගැන ව්‍යාවෘතවූවන්ට ප්‍රයෝජනයක් වුණේ නැති නිසා කෑමවලින් නොව, අනුග්‍රහයෙන් සිත ස්ථිරවීම යහපත්ය. 10අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත. 11මක්නිසාද උත්තම පූජකයා විසින් පාපය නිසා යම් යම් සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙනයනු ලැබේද, ඒ සතුන්ගේ ශරීර කඳවුරෙන් පිටතදී පුළුස්සාදමති. 12එහෙයින් යේසුස්වහන්සෙත් තමන්ගේම ලෙයින් සෙනඟ පිරිසිදුකරන පිණිස දොරටුවෙන් පිටතදී වධවින්දසේක. 13ඉතින් අපි උන්වහන්සේගේ නින්දාව දරාගනිමින් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙතට යමු. 14මක්නිසාද පවතින නුවරක් මෙහි අපට නැත, අප විසින් සොයන්නේ මතු පැමිණෙන නුවරය. 15එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු. 16නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක. 17නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.
අවසාන වචන
18අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව. 19වඩා ඉක්මනින් මා නුඹලාට නැවත දෙනු ලබන පිණිස, එසේ කරන්ට මම වඩා ඕනෑකමින් නුඹලාට අනුශාසනාකරමි.
20ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ, 21තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන#13:21 නොහොත්, නුඹලා තුළ. අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.
22සහෝදරයෙනි, මේ අනුශාසනාවේ වචනය ඉවසන හැටියට නුඹලාගෙන් ඉල්ලමි. මක්නිසාද ලුහුඬින් මම නුඹලාට ලියුවෙමි. 23අපේ සහෝදරවූ තිමෝතියස් නිදහස්කරනු ලැබූ බව දැනගන්න; ඔහු ඉක්මනින් ආවොත්, ඔහු සමඟ නුඹලා බලන්ට එන්නෙමි.
24නුඹලාගේ සියලු ප්‍රධානීන්ටත් සියලු ශුද්ධවන්තයන්ටත් ආචාරකරන්න. ඉතාලියේ අය නුඹලාට ආචාරකරති.
25අනුග්‍රහය නුඹලා සියල්ලන් සමඟ වේවා. ආමෙන්.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy