YouVersion Logo
Search Icon

උත්පත්ති 22

22
ඊසාක් පූජා කරනු ලැබීම
1මේ කාරණාවලින් පසු දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්ෂාකරමින්: ආබ්‍රහම් කියා ඔහුට කථාකළසේක; ඔහුද: මම මෙහියයි කීය. 2උන්වහන්සේ: නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක. 3ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය. 4තුන්වෙනි දින ආබ්‍රහම් ඇස් එසවූයේ ඒ ස්ථානය දුර සිට දුටුවේය. 5ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කථාකොට: කොටළුවා සමඟ නුඹලා මෙහි සිටින්න, ළමයාත් මමත් අතනට ගොස් නමස්කාරකොට නුඹලා වෙතට නැවත එන්නෙමුයයි කීය. 6එවිට ආබ්‍රහම් දවන පූජාවට ගෙනා දර රැගෙන තමාගේ පුත්‍රවූ ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය; ඔව්හු දෙදෙනා එක්ව ගියෝය. 7ඊසාක් තමාගේ පියවූ ආබ්‍රහම්ට කථාකොට: මාගේ පියාණෙනියි කීය. ඔහුද: මාගේ පුත්‍රය, මම මෙහියයි කීය. ඔහු: බැලුව මැනවි, ගින්දරත් දරත් තිබේ, එහෙත් දවන පූජාවට බැටළුපැටවා කොයිදැයි කීවේය. 8ආබ්‍රහම්: මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුපැටවා සපයා ගන්නවා ඇතැයි කීවේය. 9මෙසේ ඔව්හු දෙදෙනා එක්ව ගොස් දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට පැමුණුණෝය; එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා, දර පිළිවෙළින් තබා, තම පුත්‍රවූ ඊසාක් බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේය. 10තවද ආබ්‍රහම් තමාගේ අත දිගුකොට තම පුත්‍රයා මරන පිණිස පිහිය ගත්තේය. 11එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය. 12දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය. 13ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය. 14ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යිරෙ#22:14එනම්,-ස්වාමීන්වහන්සේ සපයාදෙනසේක. යන නාමය තැබුවේය. මෙසේ: ස්වාමීන්වහන්සේගේ කන්දේදී සපයා දෙනුලබන්නේයයි අද දක්වා කියති. 15ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වරත් ස්වර්ගයෙහි සිට ආබ්‍රහම්ට අඬගසා: 16නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින් 17මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය; 18මාගේ ශබ්දයට නුඹ කීකරුවූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. 19ආබ්‍රහම් තමාගේ තරුණයන් වෙතට හැරී ආයේය, එවිට ඔව්හු නැගිට බෙයර්-ෂෙබාට එක්ව ගියෝය; ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි වාසය කෙළේය.
20තවද මේ කාරණාවලට පසු: බලව, මිල්කාත් නුඹේ සහෝදරවූ නාහොර් නිසා පුත්‍රයන් වැදුවායයි ආබ්‍රහම්ට කියනලද්දේය; 21එනම්, ඔහුගේ කුලුඳුලාවූ ඌශ්ද ඔහුගේ සහෝදරවූ බූශ්ද ආරම්ගේ පියාවූ කෙමුවෙල්ද, 22කෙසෙද්ද හශෝද පිල්දාෂ්ද ජීද්ලප්ද බෙතුයෙල්ද යන මොව්හුය. 23බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නාය. මිල්කා මේ අට දෙන ආබ්‍රහම්ගේ සහෝදරවූ නාහොර් නිසා බිහිකළාය. 24රෙයුමා නම්වූ ඔහුගේ උපභාර්යාවත් තෙබාද ගහම්ද තහෂ්ද මාකාද බිහිකළාය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy