YouVersion Logo
Search Icon

එසකියෙල් 46

46
1ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නැගෙනහිර දෙස තිබෙන ඇතුල් මළුවේ දොරටුව වැඩකරන දවස් හයේ වසා තිබිය යුතුය; නුමුත් සබත් දවසේද අමාවක දවසේද ඇර තිබෙන්නේය. 2අධිපතියාද දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් පිටතින් ඇතුල්වී, දොරටුවේ කණුව ළඟ සිටින්නේය, පූජකයෝ ඔහුගේ දවන පූජාවද ඔහුගේ ශාන්ති පූජාවද පිළියෙළකරන්නෝය, ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාරකොට පිටතටයන්නේය. නුමුත් සවස්වෙන තුරු දොරටුව නොවසා තිබිය යුතුය. 3දේශයේ සෙනඟද එම දොරකඩ ළඟ සබත් දවස්වලද අමාවක් දවස්වලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය. 4අධිපතියා සබත් දවසේදී ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතු දවන පූජාව නම් කැලලක් නැති බැටළුපැටියන් හදෙනෙකුත් කැලලක් නැති බැටළුවෙකුත්ය; 5ආහාර පූජාව නම් බැටළුවාට පිටි ඒඵාවකුත් බැටළුපැටවුන්ට ඔහු දෙන පමණකුත් පිටි ඒඵාවට තෙල් හිනකුත්ය. 6අමාවක දවසේදී කැලලක් නැති තරුණ ගොනෙකුත් බැටළුපැටවුන් හදෙනෙකුත් බැටළුවෙකුත් ඔප්පු කරන්නේය; උන් කැලලක් නැති එවුන් විය යුතුය. 7ගොනාට ඒඵාවකුත් බැටළුවාට ඒඵාවකුත් බැටළුපැටවුන්ට තමාගේ පුළුවන්කමේ හැටියටත් ඒඵාවට තෙල් හිනකුත් පිළියෙළකරන්නේය. 8අධිපතියා ඇතුල්වෙන කල ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්විය යුතුය, ඒ මාර්ගයෙන්ම පිටතට යායුතුය. 9නුමුත් දේශයේ සෙනඟ නියම කාලවලදී ස්වාමීන්වහන්සේ ඉදිරියට ඇතුල්වෙන කල නමස්කාර කරන්ට උතුරු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය දකුණු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය; දකුණු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය. කවුරු නුමුත් ඇතුල්වෙන දොරටුවේ මාර්ගයෙන් හැරී නොගොස් ඊට ඉදිරිපිටින් පිටතට යා යුතුය. 10ඔවුන් ඇතුල්වෙන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුල්වන්නේය; ඔවුන් පිටතට යනකල ඔහුත් පිටතට යන්නේය. 11මංගල්‍යවලදීද නියම කාලවලදීද ඔප්පුකරන ආහාර පූජාව ගොනෙකුට ඒඵාවකුත් බැටළුවෙකුට ඒඵාවකුත් බැටළුපැටවුන්ට ඔහු දෙන පමණකුත් ඒඵාවට තෙල් හිනකුත් වන්නේය. 12අධිපතියා ස්වෙච්ඡා දවන පූජාවක්වත් ස්වෙච්ඡා ශාන්ති පූජාවක්වත් ස්වාමීන්වහන්සේට පිළියෙළකරන්ට එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇරදිය යුතුය, ඔහු සබත් දවසේදී කරන ප්‍රකාරයට තමාගේ දවන පූජාවද ශාන්ති පූජාවද පිළියෙළකර පිටතට යන්නේය; ඔහු ගියායින් පසු දොරටුව වසනු ලබන්නේය. 13තවද කැලලක් නැති අවුරුද්දක බැටළු පැටවෙක් දවන පූජාවක් කොට දවස් පතාම ස්වාමීන්වහන්සේට පිළියෙළකරන්න. උදයෙන් උදය එසේ පිළියෙළකරන්න. 14ඌ සමඟ උදයෙන් උදය ආහාර පූජාවක් වන ඒඵාවකින් හයෙන් කොටසක්ද සිහින් පිටි තෙමන්ට තෙල් හිනකින් තුනෙන් කොටසක්ද ස්වාමීන්වහන්සේට ආහාර පූජාවක් කොට පිළියෙළකරන්න; ඒක නිරන්තරවූ සදාකාල නියෝගයක්ය. 15එසේ නිරන්තර දවන පූජාවක් කොට බැටළුපැටවාද ආහාර පූජාවද තෙල්ද උදයෙන් උදය පිළියෙළකළ යුතුය.
16ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: අධිපතියා තමාගේ පුත්‍රයන්ගෙන් යමෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමයය, එය ඔහුගේ පුත්‍රයන්ට අයිතිවන්නේය; උරුමවීමෙන් එය ඔවුන්ගේ කොටසය. 17නුමුත් තමාගේ උරුමයෙන් තෑග්ගක් තමාගේ සේවකයන්ගෙන් යමෙකුට දුන්නොත්, එය නිදහස්වීමේ අවුරුද්ද දක්වා ඔහුට වන්නේය; එකල එය අධිපතියාට නැවත වන්නේය; ඔහුගේ උරුමය ඔහුගේ පුත්‍රයන්ට පමණක් වන්නේය. 18සෙනඟ ඔවුන්ගේ කොටස්වලින් අහක්කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනීවා; මාගේ සෙනඟ තම තමුන්ගේ කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේම කොටසෙන් තමාගේම පුත්‍රයන්ට උරුමයෙන් දේවයි කීවේය.
19එවිට ඔහු දොරටුවේ පැත්තක ඇතුල්වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධවූ කාමරවලට මා පැමිණෙවුවේය. එහි පිටිපස්ස පැත්තෙහි බස්නාහිර දෙසට ඉඩමක් තිබුණේය. 20ඔහුද: මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්ටත් ආහාර පූජාව බදින්ටත් ඕනෑවූ ඉඩමය; එසේ කරන්නේ සෙනඟ ශුද්ධකරන පිණිස ඒවා පිට-මළුවට නොගෙනියන පිණිසයයි මට කීවේය. 21එවිට ඔහු පිට-මළුවට මා පමුණුවා, මළුවේ මුලු හතර ළඟින් මා ගෙනගියේය; එවිට මළුවේ එක එක මුල්ලෙහි මළුවක් තිබෙන බව දුටිමි. 22මළුවේ මුලු හතරේ මළු සෙවිලි කර, සතළිස් රියනක් දිගව තිස් රියනක් පළල්ව තිබුණේය. ඒ සතරම එක මිම්මට තිබුණේය. 23ඒ සතරම වටේට ඒවා ඇතුළෙහි බැම්මක් බැගින් තිබුණේය, වටකරින් බැමි යට ලිප් සාදා තිබුණේය. 24එවිට ඔහු: මේවා ගෘහයේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බන්ට ඕනෑවූ ගෙවල්යයි මට කීවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy