YouVersion Logo
Search Icon

එසකියෙල් 39

39
1තවද මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. බලව, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධවෙමි. 2මම නුඹ හරවා, නුඹ ඇද, උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනැවිත්, 3ඉශ්‍රායෙල් කඳු පිටට නුඹ පමුණුවා, නුඹේ දුන්න නුඹේ වමතෙන් ගසාදමා නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්ට සලස්වන්නෙමි. 4ඉශ්‍රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු සමුදාවල්ද නුඹ සමඟ සිටින ජනයන්ද වැටෙනවා ඇත. සියලු ආකාර ගිජු පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි. 5නුඹ පොළොව මතුපිට වැටෙනවා ඇත. මක්නිසාද මම එය කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 6මම මාගොග් පිටටත් ද්වීපවල නිසැකව වාසයකරන්නන් පිටටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත. 7මාගේ ශුද්ධවූ නාමය තවත් කෙලසන්ට ඉඩනෑර, මම මාගේ ශුද්ධවූ නාමය මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දන්වන්නෙමි. ජාතීන්ද ස්වාමීන්වහන්සේ වන මා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත. 8බලව, එය පැමිණෙයි, එය සිද්ධවේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක; ඒ වනාහි මා විසින් කී දවසය. 9එවිට ඉශ්‍රායෙල් නුවරවල වැසියෝ පිටතට ගොස්, ගිනි පත්තුකර, ආයුධ වන පලිස්ද මහ පලිස්ද දුනුද ඊගස්ද මුගුරුද සෙල්ලද දවන්නෝය, සත් අවුරුද්දක් ඒවායින් ගිනි පත්තුකරනවා ඇත. 10ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේවත් මූකළාන්වලින් ඒවා කපාගන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ආයුධවලින් ගිනි පත්තුකරන්නෝය. තමුන්ගෙන් කොල්ලකෑ අයින්ගෙන් කොල්ලකන්නෝය, තමුන්ගෙන් සම්පත් උදුරාගත් අයින්ගෙන් සම්පත් උදුරාගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
11තවද ඒ කාලයේදී මම එහි ඉඩමක්වන මිනීවළක් ඉශ්‍රායෙල් දේශයෙහි ගොග්ට දෙන්නෙමි; එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන ගමන්යන්නන්ගේ මිටියාවතය. එය ඒ ගමන්යන්නන් නවත්වනවා ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහයාද වළලා, ඊට හාමොන්-ගොග්යයි නම් තබන්නෝය. 12ඉශ්‍රායෙල් වංශයද දේශය පිරිසිදුකරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝය. 13එසේය, දේශයේ මුළු සෙනඟ ඔවුන් වළලන්නෝය; එය වනාහි මා ගෞරවයට පැමිණෙන කාලයේදී ඔවුන්ට කීර්තියක් වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 14තවද ඔව්හු දේශය පිරිසිදුකිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින්, දේශය මතුපිට ඉතුරුවෙන ඒ ගමන් යන්නන් වැළලීමෙහි නිතරම යෙදී සිටීමට මනුෂ්‍යයන් තෝරාගන්නෝය. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝය. 15දේශයෙහි ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇටයක් දුටුවාම වළලන්නෝ ඒක හාමොන්-ගොග්හි වළලන තෙක් ඒ ළඟ කණුවක් ගොඩනගන්නෝය. 16තවද නුවරක නමත් හාමොනා වන්නේය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනවා ඇත.
17මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ වනාහි සියලු ආකාර පක්ෂීන්ටද වනයේ සියලු මෘගයන්ටද කථාකොට–තෙපි රැස්වී වරෙව්; මා විසින් ඉශ්‍රායෙල් කඳු පිට තොප උදෙසා ඔප්පුකරන මහත් පූජාවක් වන මාගේ පූජාවට වටකරින් එකතුවී මස් කා ලේ බොව්. 18තෙපි බලවතුන්ගේ මාංස කන්නහුය, පොළොවේ අධිපතීන්ගේද බැටළුවන්ගේද බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ගවයන්ගේද ලේ බොන්නහුය, උන් සියල්ලෝම බාෂාන්හි තර සත්තුය. 19මා විසින් තොප උදෙසා ඔප්පුකර තිබෙන මාගේ පූජාවෙන් තෙපි තෘප්තිමත්ලෙස තෙල කන්නහුය, මත්වෙන තුරු ලේද බොන්නහුය. 20තෙපි අශ්වයන්ගෙන්ද අසරුවන්ගෙන්ද බලවතුන්ගෙන්ද සියලු යුද්ධකාරයන්ගෙන්ද මාගේ මේසය ළඟ තෘප්තියට පැමිණෙන්නහුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 21මමද මාගේ තේජස ජාතීන් අතරෙහි පෙන්වන්නෙමි, සියලු ජාතීහු මා ඉෂ්ටකළ විනිශ්චය සහ මා ඔවුන් කෙරෙහි තැබූ මාගේ හස්තය දකින්නෝය. 22ඉශ්‍රායෙල් වංශයද මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඒ දවසේ පටන් මත්තට දැනගන සිටින්නෝය. 23තවද ඉශ්‍රායෙල් වංශය වහල්කමට ගියේ ඔවුන්ගේ අයුතුකම නිසා බව ජාතීන් දැනගන්නවා ඇත; මක්නිසාද ඔව්හු මට විරුද්ධව ද්‍රෝහිකම් කළෝය, මමද මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්නෙමි, ඔවුන් සියල්ලෝ කඩුවෙන් වැටුණෝය. 24ඔවුන්ගේ අපවිත්‍රකමේ සහ ඔවුන්ගේ වරදවල හැටියට මම ඔවුන්ට කර, මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගතිමි.
25එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි. 26මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනැවිත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස්කොට, මා ශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ ජාතීන් ඉදිරියෙහි පෙන්වනු ලැබුවාම, 27ඔවුන් කිසිවෙකුගෙන් භයක් නොලැබ, තමුන්ගේ රටෙහි සුවසේ වාසයකරන විට, ඔවුන් තමුන්ගේ ලජ්ජාවත් ඔවුන් මට විරුද්ධව කළාවූ තමුන්ගේ සියලු ද්‍රෝහිකමුත් සිහිනැතිකරනවා ඇත. 28ඔවුන් ජාතීන් අතරට ගෙනගියාවූ මා විසින් ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත් නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස්කරන විට, මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත. 29මා විසින් මාගේ ආත්මය ඉශ්‍රායෙල් වංශය කෙරෙහි වැගිරෙවුවාම මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy