YouVersion Logo
Search Icon

එසකියෙල් 21

21
1 ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 2මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ යෙරුසලම දෙසට හරවා තබාගන, ශුද්ධස්ථාන දෙසට නුඹේ වචනය පිටෝතුකරමින්, ඉශ්‍රායෙල් දේශයට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න. 3ඉශ්‍රායෙල් දේශයට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, මම නුඹට විරුද්ධය, මාගේ කඩුවද කොපුවෙන් ඇද ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන්නෙමි. 4මා විසින් මෙසේ ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන බැවින් මාංසමයවූ සියල්ලන්ට විරුද්ධව දකුණේ සිට උතුර දක්වා මාගේ කඩුව කොපුවෙන් පිටත්ව යනවා ඇත. 5ස්වාමීන්වහන්සේ වන මා විසින් මාගේ කඩුව කොපුවෙන් ඇදගත් බව මාංසමයවූ සියල්ලන් දැනගන්නවා ඇත; නැවත ඒක කොපුවට හැරී නොයන්නේය. 6එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹ සුසුම්ලන්න; තුනටිය කැඩෙන තරමට ශෝකයෙන් ඔවුන් ඉදිරියෙහි කෙඳිරිගාන්න. 7නුඹ සුසුම්ලන්නේ මක්නිසාදැයි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ආරංචිය නිසාය, මක්නිසාද එය පැමිණෙන්නේය. සියලු සිත් දියවෙන්නේය, සියලු අත් හෙලාවැටෙන්නේය, සියලු ආත්ම ක්ලාන්තවන්නේය, සියලු දණහිස් දිය මෙන් බෙලහීනවන්නේය. බලව, එය පැමිණෙන්නේය, එය සිදුවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
8 ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 9මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියා, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: කඩුවක්ය, කඩුවක්ය, ඒක මුවහත්කර මැදලාත් තිබේයයි කියන්න. 10ඒක මුවහත්කර තිබෙන්නේ මරාදමන පිණිසය; මැදලා තිබෙන්නේ විදුලිය මෙන් දිලිහෙන පිණිසය. එසේ නම් අපට ප්‍රීතිවෙන්ට යුතුද? මාගේ පුත්‍රයාගේ ජයකොන්තය සියලු ගස් සුළුකරන්නේය. 11ඒක අතට ගන්න පිණිස මැදීමට දී තිබේ. මරාදමන අයගේ අතට දෙන පිණිස මේ කඩුව මුවහත්කර මැදලාත් තිබේ. 12මනුෂ්‍ය පුත්‍රය, කෑගසා මොරගසන්න. මක්නිසාද ඒක මාගේ සෙනඟ පිටටත් සියලු ඉශ්‍රායෙල් අධිපතීන් පිටටත් පැමුණුණේය. ඔව්හු මාගේ සෙනඟ සමඟ කඩුවට පාවාදෙනු ලැබුවෝය. එබැවින් කළවයට ගසාගන්න. 13මක්නිසාද නඩු විභාගයක් ඇත්තේය; තවද සුළුකරන්නාවූ ජයකොන්තය පවා නැතුව ගියත් මොකදැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 14එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ වනාහි අනාගතවාක්‍ය කියමින්, අත් දෙක එකට ගසන්න; කඩුව එනම් මරණීය තුවාල ලැබූ අය මරාදැමූ කඩුව නැවත තුන්වෙනි වරට පැමිණේවා. එය නම් මරණීය තුවාල ලැබූ උත්තමයා මරාදැමූ කඩුවය, එය ඔවුන්ගේ ඇතුල් ගෙවලට වදින්නේය. 15සිත දියවීයන පිණිසත් පැකිලීම් වැඩිවෙන පිණිසත් ඔවුන්ගේ සියලු දොරටුවලට විරුද්ධව කඩුවේ භයානකකම මම නියමකෙළෙමි. අහෝ ඒක විදුලිය මෙන් ඔප් නගා, මරාදැමීමට තියුණුකර තිබේ. 16කඩුව, යොමුවෙන්න, දකුණට ගසන්න; සෑදී සිටින්න, වමට ගසන්න; නුඹේ මූණත හැරී තිබෙන කොයි අතට නුමුත් ගසන්න. 17මමත් මාගේ අත් දෙක එකට ගසා, මාගේ කෝපය සංසිඳුවාගන්නෙමි. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමියි කීය.
18 ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ: 19මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජුගේ කඩුව එන්ට මාර්ග දෙකක් නියමකරගන්න; ඒ දෙකම එක දේශයකින් පැමිණෙන්නේය. අත් ලකුණක් තබන්න, නුවරට පැමිණෙන මාර්ග සන්ධියෙහි ඒක පිහිටුවන්න. 20කඩුව අම්මොන් පුත්‍රයන්ගේ නුවරවූ රබ්බාටත් යූදාට සහ පවුරු ඇති යෙරුසලමටත් පැමිණෙන්ට මාර්ගයක් නියමකරන්න. 21බබිලෝනියේ රජ පේන අහන්ට මාර්ගය බෙදෙන තැන දෙමංසන්ධියේ සිට, ඊගස් සොලවා, තෙරාඵීම් රූප කරණකොටගෙන විභාගකර, අක්මාව බැලුවේය. 22යුද්ධ යන්ත්‍ර තබන්ටත් මරාදැමීමට මුඛය හැර ඝෝෂා කිරීමෙන් ශබ්දනගන්ටත් දොරටුවලට විරුද්ධව යුද්ධ යන්ත්‍ර තබන්ටත් ගොඩැලි සාදන්ටත් කොටු ගොඩනගන්ටත් යෙරුසලම ගැන ඔහුගේ දකුණතට පේන–ඊගස වැටුණේය. 23ඔවුන් ඒ අයට දිවුරුම් දී තිබෙන නුමුත් ඒක බොරු පේනකීමක් වාගේ ඔවුන්ට පෙනේ. නුමුත් ඔවුන් අසුවෙන පිණිස ඔහු අයුතුකම සිහිකරන්නේයයි කීය.
24එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ සියලුම ක්‍රියාවලින් නුඹලාගේ පාප පෙනීයාමට නුඹලාගේ වරද එළිදරව්වෙන හැටියට නුඹලාගේ අයුතුකම නුඹලා සිහිකෙරෙවු බැවින්ද නුඹලා ගැන මෙසේ සිහිවුණ බැවින්ද නුඹලා ඔවුන් අතට අසුවෙනවා ඇත. 25අනිනු ලැබුවාවූ, දුෂ්ටවූ ඉශ්‍රායෙල් අධිපතිය, නුඹේ කාලය අන්තිම අයුතුකමේ කාලයෙහි පැමිණ තිබේ; 26ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: කිරීටය ගළවාදමන්න, ඔටුන්න අහක්කරන්න. මෙය තිබුණ අන්දමටම නොවන්නේය. පහත් දේ උසස්කරන්න, උසස් දේ පහත් කරන්න. 27පෙරළාදමන්නෙමි, පෙරළාදමන්නෙමි. පෙරළාදමන්නෙමි. අයිතිවාසිය ඇති තැනැත්තා එන තුරු ඒකත් තවත් නොවන්නේය; මම ඒක ඔහුට දෙන්නෙමි.
28මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියා, ස්වාමිවූ දෙවියන්වහන්සේ අම්මොන් පුත්‍රයන් ගැනද ඔවුන්ගේ නින්දාකිරීම ගැනද මෙසේ කියනසේකැයි කියන්න: 29අන්තිම අයුතුකමේ කාලයේදී සිටියාවූ මැරුම්කෑවාවූ දුෂ්ටයන්ගේ කුළල් පිටට නුඹ හෙළනු ලබන පිණිස ඔවුන් නුඹ උදෙසා නිෂ්ඵල දේ දකිමින් නුඹට බොරු පේනකියන අතර කඩුවක්–මරාදැමීමට කඩුවක්–ඇද තිබේ, විදුලිය මෙන් දිලිහෙන පිණිස පුළුවන් පමණ ඒක මැදලා තිබේ. 30නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි නුඹේ උත්පත්ති දේශයේදී නුඹ විනිශ්චයකරන්නෙමි. 31මාගේ උදහස නුඹ පිටට වගුරුවා, මාගේ කෝපය නැමති ගින්නෙන් නුඹට පිඹ, රෞද්‍රවූ, විනාශ කිරීමට දක්ෂවූ මනුෂ්‍යයන් අතට නුඹ පාවාදෙන්නෙමි. 32නුඹ ගින්නට දර පිණිස වන්නෙහිය; නුඹේ ලේ දේශය මැද වැගිරෙන්නේය; නුඹ තවත් සිහිකරනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීමියි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy