YouVersion Logo
Search Icon

නික්මයාම 6

6
1එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මා විසින් ඵාරාවෝට කරන දේ දැන් නුඹ දක්නෙහිය. මක්නිසාද ඔහු බලවත් අතක් කරණකොටගෙන ඔවුන් යන්ට හරින්නේය, ඔහු බලවත් අතක් කරණකොටගෙන තමාගේ රටින් ඔවුන් පන්නාහරින්නේයයි කීසේක.
දෙවියන්වහන්සේ විසින් මෝසෙස්ට අණදීම
2තවද දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය. 3මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ලෙස පෙනුණෙමි, නුමුත් යෙහෝවඃ යන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශනූණෙමි. 4ඔවුන් විදේශීව සිටියාවූ ඔවුන්ගේ පොරොත්තුව සිටීමේ රට වූ කානාන් දේශය ඔවුන්ට දෙන පිණිස ඔවුන් සමඟ මාගේ ගිවිසුමද පිහිටෙවුවෙමි. 5ඇරත් මිසරවරුන් විසින් වහල්කමෙහි තබාගන සිටින ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරිගෑම මම අසා මාගේ ගිවිසුම සිහිකෙළෙමි. 6එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි. 7නුඹලා මාගේ සෙනඟ කොට පිළිගෙන නුඹලාට දෙවිකෙනෙක් වන්නෙමි. මෙසේ මම මිසරවරුන්ගේ බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ දෙවිවූ යෙහෝවඃවහන්සේ බව නුඹලා දැනගන්නහුය. 8ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන ලෙස යම් දේශයක් ගැන මාගේ අත එසවීම්ද ඒ දේශයට නුඹලා පමුණුවා උරුමයක් කොට ඒක නුඹලාට දෙන්නෙමි. මම යෙහෝවඃවහන්සේයයි කියන්නැයි කීසේක. 9මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එලෙස කථාකෙළේය. එහෙත් ඔව්හු හෘදය වේදනාව නිසාත් තද වහල්කම නිසාත් මෝසෙස්ට ඇහුම්කන් නුදුන්නෝය.
10 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ ඇතුල්වී, 11ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් දේශයෙන් යන්ට හරින ලෙස මිසරයේ රජවූ ඵාරාවෝට කථාකරන්නැයි කීසේක. 12මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: බැලුව මැනව, ඉශ්‍රායෙල් පුත්‍රයෝ මට ඇහුම්කන් නුදුන්නෝය; එසේවීනම් ඵාරාවෝ අදක්ෂ තොල් ඇති මට කන්දෙන්නේ කෙසේදැයි කීවේය. 13ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද ආරොන්ටද කථාකොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැනත් මිසරයේ රජවූ ඵාරාවෝ ගැනත් ඔවුන්ට අණක් දුන්සේක.
පෙළපත්
14තමන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ මොව්හුය: ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය. මොව්හු රූබෙන්ගේ පෙළපත්ය. 15සිමියොන්ගේ පුත්‍රයෝ: යෙමුවෙල්, යාමීන්, ඕහද්, යාඛීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍රවූ ෂාවුල්ය. මොව්හු සිමියොන්ගේ පෙළපත්ය. 16තමන්ගේ පරම්පරා වශයෙන් ලෙවී පුත්‍රයන්ගේ නාම මෙසේය: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. ලෙවීගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය. 17තමන්ගේ පෙළපත් ලෙස ගේර්ෂොන්ගේ පුත්‍රයෝ, ලිබ්නි සහ ෂිමෙයිය. 18කොහාත්ගේ පුත්‍රයෝ: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය. කොහාත්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්තුනක් විය. 19මෙරාරීගේ පුත්‍රයෝ: මහ්ලි සහ මුෂීය. තමන්ගේ පරම්පරා ලෙස ලෙවීගේ පෙළපත් මේය. 20අම්රාම් තමාගේ පියාගේ සහෝදරීවූ යොඛෙබෙද් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා ආරොන් සහ මෝසෙස් බිහිකළාය. අම්රාම්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය. 21ඉශ්හාර්ගේ පුත්‍රයෝ: කොරා, නෙඵෙග් සහ ශික්රීය. 22උස්සීයෙල්ගේ පුත්‍රයෝ: මීෂායෙල්, එල්ෂාපාන් සහ සිත්රීය. 23ආරොන් අම්මිනාදබ්ගේ දූවූ, නාෂොන්ගේ සහෝදරීවූ එලිෂෙබා භාර්යාවකොට පාවාගත්තේය; ඈ ඔහු නිසා නාදාබ්ද අබිහුද එලෙයාසර්ද ඊතාමර්ද බිහිකළාය. 24කොරාගේ පුත්‍රයෝ: අස්සීර්, එල්කානා සහ අබියාසාප්ය; මොවුන් කොරාවරුන්ගේ පෙළපත්ය. 25ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් පුතියෙල්ගේ දුවක් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා පීනෙහාස් බිහිකළාය. මොව්හු තමන්ගේ පවුල් ලෙස ලෙවීවරුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝය. 26ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ටත්ය. 27ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත ගෙනෙන පිණිස මිසරයේ රජවූ ඵාරාවෝට කථාකළේ මෙම මෝසෙස් සහ ආරොන්ය.
මෝසෙස්ට දෙවනුව අණදීම
28තවද මිසර දේශයේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකළ දවසේ 29ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මම ස්වාමීන්වහන්සේය. මා විසින් නුඹට කියන සියල්ල මිසරයේ රජවූ ඵාරාවෝට කියවයි කීසේක. 30මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: මම අදක්ෂ තොල් ඇති කෙනෙක් වෙමි, ඵාරාවෝ මට ඇහුම්කන්දෙන්නේ කොහොමදැයි කීවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy