YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 10

10
1මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය. 2ප්‍රඥාවන්තයාගේ#10:2 එනම්,ප්‍රඥාවන්තයාගේ සිත හරි දේටද අඥානයාගේ සිත වැරදි දේටද යොමුවෙයි යනුයි.‍ හෘදය ඔහුගේ දකුණු පැත්තෙහි තිබේ; නුමුත් අඥානයාගේ හෘදය ඔහුගේ වම් පැත්තෙහිය. 3එසේය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ සිහිය මදිවී, තමා මෝඩයෙක්යයි සියල්ලන්ට කියන්නේය. 4ආණ්ඩුකාරයාගේ සිත නුඹට විරුද්ධව ඇවිස්සුණොත්, නුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි. 5අධිපතියා ඉදිරියෙන් නික්මෙන වැරැද්දක් වන ඉර යට කෙරෙන නරකක් දුටිමි. 6එනම්, අඥානකම බොහෝ උසස් ස්ථානවල පිහිටුවා තිබියදී, උත්තමයන් පහත් තැන ඉන්න බවය. 7වැඩකාරයන් අශ්වයන් පිට යනවාත් අධිපතීන් වැඩකාරයන් මෙන් පයින් යනවාත් දුටිමි.
ඥානය ගැන නොයෙක් හිතෝපදේශ
8වළක් හාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි. 9ගල් කපන්නාට එයින් තුවාලවෙයි; ලී පළන්නාට එයින් අන්තරාය සිදුවෙයි. 10යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය. ප්‍රඥාව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි. 11මතුරන්ට පළමුවෙන් සර්පයා දෂ්ටකළොත් මතුරන්නාගෙන් ප්‍රයෝජන නැත. 12ප්‍රඥාවන්තයාගේ මුඛයේ වචන ප්‍රසන්නය; නුමුත් අඥානයාගේ තොල් ඔහු විනාශකරයි. 13ඔහුගේ මුඛයේ වචනවල පටන්ගැන්ම අඥානකමය. ඔහුගේ කථාවේ තීන්දුවද අන්තරාදායක මෝඩකමය. 14අඥානයා වචන වැඩිකරයි. මනුෂ්‍යයා මතු සිදුවන දේ නොදනියි; ඔහුට පසුව සිදුවන දේ ඔහුට දන්වන්නේ කවුද? 15අඥානයන්ගේ වැඩ හැමදෙනාටම වෙහෙසක් වන්නේය, මක්නිසාද ඔහු නුවරට යන්ටවත් දන්නේ නැත. 16එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ! 17එම්බා දේශය, නුඹේ රජ වංශවත් දරුවෙක් වන විටද, නුඹේ අධිපතීන් ගිජුකමට නොව ශක්තිය පිණිස නිසි වේලාවට කෑම කන විටද, නුඹ වාසනාවන්තය! 18කම්මැළිකම නිසා වහල දිරා වැටෙන්නේය; අත්වල අලසකම නිසා ගෙය තෙමෙන්නේය. 19සිනාසීම පිණිස භෝජන පිළියෙළකරනු ලැබේ, මුද්‍රිකපානයද ජීවිතය ප්‍රීතිකරයි. තවද මුදලෙන් සියලුදේ ඉෂ්ටවෙයි. 20නුඹේ සිතෙන්වත් රජුට දෙස් නොකියන්න; නුඹේ සැතපෙන ගෙයිදීවත් වස්තුකාරයන්ට දෙස් නොකියන්න. මක්නිසාද ආකාශයේ පක්ෂියෙක් ඒ හඬ ගෙනයනවා ඇත, පියාපත් ඇති සතෙක්ද කාරණය දන්වනවා ඇත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy