YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 28

28
කීකරුකමේ ආශීර්වාද
1තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක. 2නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද නුඹ කරා පැමිණ නුඹ සමඟ වන්නේය. 3නුඹ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය. 4නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ සිවුපාවුන්ගේ ඵලයටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය. 5නුඹේ පැසටද පිටි අනන ඔරුවටද ආශීර්වාද ලැබෙන්නේය. 6නුඹ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය. 7නුඹට විරුද්ධව නැගිටින්නාවූ නුඹේ සතුරන් ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු නුඹට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් නුඹ ඉදිරියෙන් පලායන්නෝය. 8නුඹේ ගබඩා කෙරෙහිද නුඹ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදය එවා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයේදී නුඹට ආශීර්වාදකරනසේක. 9නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වා උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹට දිවුළලෙස උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට නුඹ ස්ථිරකරනසේක. 10ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට භයවන්නෝය. 11ස්වාමීන්වහන්සේ නුඹට දෙන ලෙස නුඹේ පියවරුන්ට දිවුළ භූමිය මතුපිට නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිවුපාවුන්ගේ ඵලයද භූමියේ ඵලයද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක. 12ස්වාමීන්වහන්සේ නිසි කාලයට නුඹේ දේශයට වර්ෂාව දෙන්ටද නුඹේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව නුඹට විවෘත කරනසේක. නුඹ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් නුඹ ණයට නොගන්නෙහිය. 13මා අද නුඹලාට අණකරන සියලු වචනවලින් නුඹ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්, 14මා අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වමින් ඉෂ්ටකරන ලෙස නුඹ ඒවාට කීකරුවන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹ වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; නුඹද යටින් නොව ඉහළින්ම සිටිනවා ඇත.
අකීකරුවීමේ ශාපලත්කම
15නුමුත් මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප නුඹ පිටට පැමිණ නුඹ අසුකරගන්නේය. 16නුඹ නුවරෙහි ශාපලද්දෙක්ද කෙතෙහි ශාපලද්දෙක්ද වන්නෙහිය. 17නුඹේ පැසටද පිටි අනන ඔරුවටද ශාප පැමිණෙන්නේය. 18නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ශාප පැමිණෙන්නේය. 19නුඹ ඇතුළට එන විටද පිටතට යන විටද ශාප ලබන්නෙහිය. 20නුඹ විසින් මා අත්හැරීමෙන් කළාවූ නුඹේ නපුරු ක්‍රියා නිසා නුඹ විනාශව ඉක්මනින් නැතිව යන තෙක්, නුඹ කරන්ට අත තබන සියල්ලේදී ස්වාමීන්වහන්සේ ශාපයද පරාජයද තරවටුවද නුඹ පිටට එවනසේක. 21ස්වාමීන්වහන්සේ නුඹ හිමිකරගන්ට යන භූමිය මතුපිටින් නුඹ නැතිකර දමන තුරුම වසංගතය නුඹට ඇලී තිබෙන්ට සලස්වනසේක. 22ස්වාමීන්වහන්සේ ක්ෂයරෝගයෙන්ද උණෙන්ද උෂ්ණයෙන්ද දැවිල්ලෙන්ද කඩුවෙන්ද ගොයම් වියළීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹට පහරදෙනසේක; නුඹ නැතිවීයන තුරු ඒවා නුඹ එළවාගන එනවා ඇත. 23නුඹේ හිසට උඩින් තිබෙන අහස පිත්තල වන්නේය, නුඹට යටින් තිබෙන භූමිය යකඩ වන්නේය. 24ස්වාමීන්වහන්සේ නුඹේ දේශයෙහි වර්ෂාව සුනුද ධූලිද වෙන්ට සලස්වනසේක. නුඹ විනාශවෙන තුරු අහසෙන් ඒවා නුඹ පිටට බසින්නේය. 25ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය. 26නුඹේ මළකඳ ආකාශයේ සියලු පක්ෂීන්ටද භූමියේ සියලු මෘගයන්ටද ගොදුරු වන්නේය, කිසිවෙක් උන් භයගන්වා නොඑළවන්නේය. 27සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක. 28ස්වාමීන්වහන්සේ උමතුකමද අන්ධකමද විස්මිතභාවයද යන මේවායින් නුඹට පහරදෙනසේක. 29අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් නුඹ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, නුඹේ මාර්ගවලදී නුඹ සඵලනොවන්නෙහිය. නුඹ ගළවන්ට කිසිවෙකු නැතුව නුඹ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය. 30නුඹ භාර්යාවකට විවාහ බස් දෙන නුමුත් අනිකෙක් ඈ සමඟ සයනයකරන්නේය. නුඹ ගෙයක් ගොඩනගන නුමුත් එහි නොවසන්නෙහිය. නුඹ මිදිවත්තක් වවන නුමුත් ඒකේ ඵල භුක්තිනොවිඳින්නෙහිය. 31නුඹේ ගොනා නුඹේ ඇස් ඉදිරියෙහි මරනු ලබන නුමුත් නුඹ එයින් නොකන්නෙහිය. නුඹේ කොටළුවා නුඹ ඉදිරියෙන් බලහත්කාරයෙන් ගනු ලබන්නේය, නැවත ඌ නුඹට නොලැබෙන්නේය. නුඹේ බැටළුවෝ නුඹේ සතුරන්ට දෙනු ලබන්නෝය, නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය. 32නුඹේ පුත්‍රයෝද දූවරුද අන් සෙනඟකට දෙනු ලබන්නෝය, ඔවුන් ගැන දවස මුළුල්ලේම බලා සිටීමෙන් නුඹේ ඇස් ක්ෂයවන්නේය. නුඹේ අතේ බලයෙන් කිසිවක් කළනොහැකිවන්නේය. 33නුඹේ භූමියේ පලදාවද නුඹේ මුළු උත්සාහ ලාභයද නුඹ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, නුඹ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය. 34නුඹේ ඇස්වලින් දකින කාරණා නිසා නුඹ උමතුකමට පැමිණෙන්නෙහිය. 35නුඹේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ නුඹේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් නුඹට පහරදෙනසේක. 36ස්වාමීන්වහන්සේ නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී නුඹ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය. 37ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය. 38නුඹ බොහෝ බීජ කෙතට ගෙනයන නුමුත් ස්වල්පයක්ම රැස්කරගන්නෙහිය; මක්නිසාද පළඟැටියෝ ඒවා කාදමන්නෝය. 39නුඹ මිදිවතු වවා ඒවා සශ්‍රීකකරන නුමුත් පණුවන් ඒවා කාදමන බැවින් නුඹ මුද්‍රිකපානය නොබොන්නෙහිය, ඵල නෙළා නොගන්නෙහිය. 40නුඹේ සියලු සීමාවල ඔලීව ගස් නුඹට තිබෙන නුමුත් ඔලීව තෙල් ගාගන්ට නුඹට නොලැබේ; මක්නිසාද නුඹේ ඔලීව ඵල වැටීයන්නේය. 41නුඹ පුත්‍රයන්ද දූවරුන්ද ජාතකකරන නුමුත් ඔව්හු නුඹට නොවන්නෝය; මක්නිසාද ඔව්හු වහල්කමට යන්නෝය. 42නුඹේ සියලු ගස්ද නුඹේ භූමියේ ඵලද පළඟැටියෝ භුක්තිවිඳින්නෝය. 43නුඹ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව නුඹට වඩා උසස් වන්නේය; නුඹ වැඩි වැඩිව පහත් වන්නෙහිය. 44ඔහු නුඹට ණයට දෙනවා මිස නුඹ ඔහුට ණයට දෙන්නේ නැත. ඔහු හිස වන්නේය, නුඹ වල්ගය වන්නෙහිය. 45නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ තමන්ගේ ආඥාද තමන්ගේ පනත්ද පවත්වන පිණිස උන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් මේ සියලු ශාප නුඹ පිටට පැමිණ, නුඹ නාස්තිවෙන තුරු නුඹ පස්සේ එළවාගෙන ඇවිත් නුඹ අසුකරගන්නේය. 46ඒවා ලකුණක් හා පුදුමයක් පිණිස නුඹ පිටත් නුඹේ වංශය පිටත් සදාකාලයටම වන්නේය. 47සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා, 48ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත. 49මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ, 50නුඹට නොතේරෙන භාෂාවක් කථාකරන්නාවූ ජාතියක් රාජාලියා වේගයෙන් එන්නාක් මෙන් දුර සිට පොළොවේ කෙළවරෙන් ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව පමුණුවනසේක. 51නුඹ විනාශවී යන තුරු ඔව්හු නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු නුඹ නැතිකරදමන තුරු නුඹට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් නුඹේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය. 52නුඹේ මුළු දේශයෙහි තිබෙන්නාවූ නුඹ විශ්වාසය තැබූ නුඹේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලාගන්නෝය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් නුඹේ මුළු දේශයෙහි තිබෙන නුඹේ සියලු නුවර දොරටුවලදී ඔව්හු නුඹ වටලාගන්නෝය. 53නුඹේ සතුරන් විසින් නුඹ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී නුඹේ ශරීරයේ ඵලය වන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් මාංස කන්නෙහිය. 54නුඹලා අතරේ බොහෝ සැපෙන් සිටි සුමුදු මනුෂ්‍යයා වනාහි, නුඹේ සතුරන් විසින් නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී, 55තමාට කිසිවක් ඉතුරුව නැති බැවින් කන්නාවූ තමාගේ දරුවන්ගේ මාංසයෙන් කොටසක් තමාගේ සහෝදරයාටවත් තමාගේ ළයේ භාර්යාවටවත් ඔහු ඉතුරු කරන තමාගේ අනික් දරුවන්ගෙන් කිසිවෙකුටවත් නොදෙන හැටියට ඔවුන් කෙරෙහි ඔහුගේ බැල්ම අප්‍රසන්න වන්නේය. 56මෘදුකම සහ සිව්මැළිකම නිසා පතුල බිම තබන්ට අකැමැතිවූ නුඹලා අතරේ සිටින මෘදුවූ සිව්මැළිවූ ස්ත්‍රියගේ බැල්ම ඇගේ කකුල් අතරෙන් පිටත එන්නාවූ ඇගේ වැදෑමහ පිළිබඳයෙන්ද, 57ඈ බිහිකරන්නාවූ ළදරුවන් පිළිබඳයෙන්ද, ඇගේ ළයෙහි පුරුෂයා කෙරෙහිත් ඇගේ පුත්‍රයා කෙරෙහිත් ඇගේ දුව කෙරෙහිත් අප්‍රසන්න වන්නේය. මක්නිසාද නුඹේ සතුරා නුඹේ නුවර දොරටුවලදී නුඹ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී, ඈට කිසිවක් නැති බැවින් ඈ ඔවුන් රහසින් කන්නීය. 58නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යන මේ මහිමවත් භයානක නාමයට භයවෙන හැටියට මේ පොතෙහි ලියා තිබෙන මේ ව්‍යවස්ථාවේ සියලු වචන රක්ෂාකරන්ට බලානොගන්නෙහි නම්, 59ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ වංශය කෙරෙහි පුදුමවූ පීඩාවල් එනම් මහත්වූ පවතින්නාවූ පීඩාද නපුරුවූ පවතින්නාවූ රෝගද පමුණුවනසේක. 60නුඹට භය ඉපදෙවූවාවූ මිසරයේ සියලු රෝගත් නුඹ පිටට නැවත පමුණුවනසේක; ඒවාද නුඹට ඇලී තිබෙන්නේය. 61ඇරත් මේ ව්‍යවස්ථා පොතෙහි නොලියනලද සියලු රෝග පීඩාද නුඹ විනාශවෙන තුරු ස්වාමීන්වහන්සේ නුඹ පිටට පමුණුවනසේක. 62නුඹලා අහසේ තාරකා මෙන් වැඩිවී සිටිය නුමුත්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් නුඹලා ස්වල්ප ගණනක්ව ඉතිරි වන්නාහුය. 63තවද නුඹලාට යහපත කරන්ටත් නුඹලා වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, නුඹලා විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; නුඹ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද නුඹලා උදුරාදමනු ලබන්නහුය. 64පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ස්වාමීන්වහන්සේ නුඹ විසුරුවාදමනසේක; එහිදී නුඹවත් නුඹේ පියවරුන්වත් දැනනොගත් ලීද ගල්දවූ අන් දෙවිවරුන්ට නුඹ සේවයකරන්නෙහිය. 65ඒ ජාතීන් අතරෙහි නුඹට කිසිපහසුවක්වත් නුඹේ පතුලට කිසි සහනයක්වත් නොලැබෙන්නේය. එහි ස්වාමීන්වහන්සේ මවිතවන සිතක්ද ඇස් වැහැරයාමද ආත්මයේ ක්ලාන්තකමද නුඹට දෙනසේක. 66නුඹේ ජීවිතය ගැන නුඹට අනුමාන ඇතිවන්නේය; නුඹ රෑ දාවල් භය ඇතුව, නුඹේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව සිටින්නෙහිය. 67නුඹේ සිතට පැමිණෙන භීතියද නුඹේ ඇස්වලින් දකින කාරණාද නිසා නුඹ උදයකාලයෙහි: අහෝ, දැන් සවස නම් හොඳය කියාද, සවස්කාලයෙහි: අහෝ, දැන් උදය නම් හොඳය කියාද කියන්නෙහිය. 68නුඹ තවත් ඒක නොදකින්නෙහියයි මා විසින් නුඹ කී මාර්ගයෙන් නැව්වලින් ස්වාමීන්වහන්සේ නුඹ මිසරයට නැවත ගෙනයනසේක. එහිදී නුඹලාගේ සතුරන්ට දාසයන්ද දාසීන්ද කොට නුඹලාම විකුණනු ලබන්ට සෑදී සිටින නුමුත් කිසිවෙක් නුඹලා මිලේට නොගන්නේයයි කීවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy