YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 25

25
1මනුෂ්‍යයන් අතරේ අරෝවක් හටගැනී ඔවුන් විනිශ්චය පිණිස ආවොත්, විනිශ්චයකාරයෝ ඔවුන් විනිශ්චයකරමින් ධර්මිෂ්ඨයා නිදොස්කර දුෂ්ටයා වරදට පත්කරත්වා; 2ඉදින් දුෂ්ටයා තළනු ලැබීමට සුදුස්සෙක් නම්, විනිශ්චයකාරයා ඔහු බිම බාවා ඔහුගේ දුෂ්ටකමේ හැටියට තමා ඉදිරියේදී ගණන්කර ඔහුට පහර තළවන්නේය. 3ඔහුට පහර සතළිසක් තළන්ට පුළුවන, ඊට වඩා නොතැළිය යුතුය. මක්නිසාද ඊට වඩා බොහෝ පහර ඔහුට තැළුවොත් නුඹේ සහෝදරයා නුඹට නීචව පෙනෙනවා ඇත.
4ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න.
5සහෝදරයන් එකට වාසයකරන අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් පුත්‍රයෙකු නැතුව මළොත් මළ අයගේ භාර්යාව අන්‍යවූ පිට කෙනෙකුට සරණ නොවිය යුතුය. ඇගේ පුරුෂයාගේ සහෝදරයා ඈ වෙතට පැමිණ ඈ තමාට භාර්යාවකොට පාවාගෙන පුරුෂයාගේ සහෝදරයෙකුගේ යුතුකම ඈට කෙරේවා. 6තවද මළාවූ සහෝදරයාගේ නාමය ඉශ්‍රායෙල් කෙරෙන් නොමැකෙන පිණිස ඈ වදන කුලුඳුලා මළ සහෝදරයාගේ නාමය දරන්නේය. 7ඒ මනුෂ්‍යයා තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්ට අකැමැති නම් ඔහුගේ සහෝදරයාගේ භාර්යාව දොරටුවෙහි සිටින වැඩිමහල්ලන් වෙතට ගොස්: මාගේ පුරුෂයාගේ සහෝදරයා තමාගේ සහෝදරයාට ඉශ්‍රායෙල්හි නාමයක් උපදවන්ට කැමති නැත, ඔහු පුරුෂයෙකුගේ සහෝදරයාගේ යුතුකම මට කරන්ට නොකැමැත්තේයයි කියාවා. 8එවිට ඔහුගේ නුවර වැඩිමහල්ලෝ ඔහු අඬගස්වා ඔහු සමඟ කථාකරත්වා. ඔහු ස්ථිරව සිට ඈ පාවාගන්ට නොකැමැත්තෙමියි කියන්නේ නම්, 9ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වැඩිමහල්ලන් ඉදිරියෙහි ඔහු ළඟට ගොස්, ඔහුගේ මිරිවැඩියක් ඔහුගේ පයින් ගළවා, ඔහුගේ මුහුණට කෙළගසා: තමාගේ සහෝදරයාගේ පවුල ගොඩ නොනගන මනුෂ්‍යයාට මෙසේ කළ යුතුයයි උත්තරදෙමින් කියාවා. 10මිරිවැඩිය මුදනු ලැබූ තැනැත්තාගේ ගෙය යන නම ඉශ්‍රායෙල්වරුන් අතරේ ඔහුට කියනු ලබන්නේය.
11මනුෂ්‍යයන් එකිනෙකා සමඟ දබරකරන කල එක්කෙනෙකුගේ භාර්යාව ඇගේ පුරුෂයාට ගහන තැනැත්තාගේ අතින් ඔහු ගළවාගන්ට ළංව ඇගේ අත දිගුකර අනික් අයගේ රහසඟ ඇල්ලුවොත්, 12ඇගේ අත කපාදමන්න, නුඹේ ඇස ඈ කෙරෙහි දයා නොකෙරේවා.
13නුඹේ මල්ලේ වෙනස් කිරුම් පඩි එනම් ලොකු එකක් සහ කුඩා එකක් තබානොගන්න. 14නුඹේ ගෙයි වෙනස් මිමි එනම් ලොකු එකක් සහ කුඩා එකක් තබානොගන්න. 15නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිවන පිණිස සම්පූර්ණවූ හරිවූ කිරුම් පඩියක් සහ සම්පූර්ණවූ හරිවූ මිම්මක් නුඹ ළඟ තබා ගන්න. 16මක්නිසාද එබඳු දේ කරන සියල්ලෝ එනම් අධර්මිෂ්ඨ ලෙස ක්‍රියාකරන සියල්ලෝ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
17නුඹලා මිසරයෙන් ආ කල්හි අමලෙක් විසින් මගදී කළ දේ, 18එනම් ඔහු දෙවියන්වහන්සේට භයනොවී, නුඹ ක්ලාන්තව වෙහෙසව සිටි කල මගදී නුඹට සම්මුඛව, නුඹලාට පස්සෙන් ආවාවූ සියලු දුර්වලයන්ට පහරදුන් හැටි සිහිකරන්න. 19එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හිමිකරගැනීමට උරුමයක් කොට නුඹට දෙන දේශයේදී වටකර සිටින නුඹේ සියලු සතුරන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට විශ්‍රාමය දුන් විට, අමලෙක් ගැන සිහිවීම අහස යටින් මකාදමන්න; එය මතකනැති නොකරන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy