YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 22

22
නොයෙක් අතුරු ආඥා
1නුඹේ සහෝදරයාගේ ගොනා හෝ ඔහුගේ බැටළුවා හෝ මුළාව යනවා නුඹ දුටු විට උන්ගෙන් මගනෑර උන් නැවත නුඹේ සහෝදරයා ළඟට නුඹ විසින් ගෙනයා යුතුමය. 2නුඹේ සහෝදරයා නුඹට ළංව නැත්නම්, නොහොත් නුඹ ඔහු නාඳුනනවානම්, ඌ නුඹේ ගෙදරට ගෙනයන්න. නුඹේ සහෝදරයා ඌ සොයා එන තුරු ඌ නුඹ ළඟ සිටීවා, ඌ නැවත ඔහුට භාර දෙන්න. 3ඔහුගේ කොටළුවා ගැනත් එසේම කරන්න; ඔහුගේ වස්ත්‍රය ගැනත් එසේම කරන්න; නුඹේ සහෝදරයාගෙන් නැතිවුණාවූ නුඹට සම්බවුණාවූ කොයි දෙයක් ගැනත් එසේම කරන්න. නුඹ එයින් මගනෑරිය යුතුය.
4නුඹේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා මග වැටී ඉන්නවා දුටු විට ඌ කෙරෙන් මග නෑර, නැවත උන් නැගුටුවන පිණිස ඔහුට නුඹ විසින් උදව්විය යුතුමය.
5ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
6පැටවුන් හෝ බිත්තර ඇති පක්ෂි කූඩුවක් ගසකවත් බිමවත් තිබී නුඹට මගදී සම්බවුණොත්, මව පැටවුන් පිට නොහොත් බිත්තර පිට සිටින්නීනම්, පැටවුන් සමඟ මව අල්වා නොගන්න. 7නුඹට ශුභ සිද්ධවන පිණිසද නුඹේ දවස් වැඩිවන පිණිසද කෙසේ නමුත් මවට යන්ට හැර පැටවුන් පමණක් ගන්න.
8නුඹ අලුත් ගෙයක් ගොඩනගන විට යමෙක් පියස්සෙන් වැටීමෙන් ලේවල දෝෂය නුඹේ ගේ පිටට නුඹ විසින් පමුණුවානොගන්න පිණිස පියස්ස වටේ පවුරක් සාදන්න. 9නුඹේ මිදි වත්තේ දෙවර්ගයක බීජ නොවපුරන්න. වැපුරුවොත් එහි පලදාව වන නුඹ වපුරන බීජ සහ මිදි වත්තේ අස්වැන්නද ශුද්ධස්ථානයට අයිතිවන්නේය.
10ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳ නොහාන්න. 11ලෝම සහ පුළුන් ආදී දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍රවූ වස්ත්‍රයක් ඇඳනොගන්න.
12නුඹේ පොරවන සළුවේ සතර කොනේ දාවලු සාදාගන්න.
නිර්දෝෂවූ හෝ දෝෂ සහිතවූ භාර්යාව
13මනුෂ්‍යයෙක් භාර්යාවක් පාවාගෙන ඈ කරා එළඹ ඈට වෛරවී කථාකොට: 14මම මේ ස්ත්‍රිය පාවාගතිමි; ඈ කරා එළඹුණු කල්හි කන්‍යාභාවයෙහි ලකුණු ඈ කෙරෙහි සම්බනොවීයයි නින්දිත වැරදි ඈ කෙරෙහි තබා ඈට විරුද්ධව නරක නාමයක් පතළකළොත්, 15ඒ යෞවනීගේ පියා සහ මව යෞවනීගේ කන්‍යාකමේ ලකුණ දොරටුවෙහි සිටින නුවර වැඩිමහල්ලන් වෙත ගෙන යෙත්වා. 16එවිට යෞවනීගේ පියා කථාකොට: මම මාගේ දුව මේ මනුෂ්‍යයාට භාර්යාවකොට පාවාදුනිමි, නුමුත් ඔහු ඈට වෛරවී– 17නුඹේ දුවගේ කන්‍යාකමේ ලකුණු නුදුටිමියි කියමින් නින්දිත වැරදි තබයි; එහෙත් මාගේ දුවගේ කන්‍යාකමේ ලකුණු මේයයි වැඩිමහල්ලන්ට කියාවා. එවිට ඔව්හු නුවර වැඩිමහල්ලන් ඉදිරියෙහි වස්ත්‍රය දිගඅරිත්වා. 18ඒ නුවර වැඩිමහල්ලෝද ඒ මනුෂ්‍යයා අල්ලා ඔහුට දඬුවම්කර, 19ඔහු ඉශ්‍රායෙල් කන්‍යාවකට විරුද්ධව නරක නාමයක් පතළකළ බැවින් රිදී ෂෙකෙල් සියයක් ඔහුට දඩගසා ඒවා යෞවනියගේ පියාට දෙත්වා, ඈ ඔහුගේ භාර්යාව වන්නීය; ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටිය යුතුය. 20එහෙත් ඒ කාරණය වන යෞවනියගේ කන්‍යාකමේ ලකුණු සම්බනූණ බව සැබෑනම්, 21ඔව්හු ඈ ඇගේ පියාගේ දොරකඩ ළඟ පිටතට ගෙනවුත්, ඈ තම පියාගේ ගෙදරදී වේශ්‍යාකම් කොට ඉශ්‍රායෙල් අතරේ නින්දිතකම් කළ බැවින්, ඈ මැරෙන පිණිස නුවර මනුෂ්‍යයෝ ඈට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.
22පුරුෂයෙකුට සරණපාවාදී සිටින ස්ත්‍රියෙක් සමඟ මනුෂ්‍යයෙක් සයනය කරනවා සම්බවුණොත් ස්ත්‍රිය සමඟ සයනයකළ මනුෂ්‍යයාත් ස්ත්‍රීන් දෙදෙනාම මරනු ලබන්නෝය. මෙසේ නුඹ ඉශ්‍රායෙල් කෙරෙන් දුෂ්ටකම පහකරන්න.
23පුරුෂයෙකුට විවාහබස්දී සිටින කන්‍යා යෞවනියක් යම් මනුෂ්‍යයෙකුට නුවරදී සම්බවී ඔහු ඈ සමඟ සයනයකළොත්, 24ඒ යෞවනී නුවර සිටලාත් මොර නොගැසූ බැවින්ද ඒ මනුෂ්‍යයා තමාගේ අසල්වාසියාගේ භාර්යාවට අවමාන්න කළ බැවින්ද ඔවුන් දෙන්නාම ඒ නුවර දොරටුව ළඟට ගෙනගොස් ඔවුන් මැරෙන පිණිස ඔවුන්ට ගල්ගසන්න. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.
25එහෙත් විවාහබස්දී සිටින යෞවනිය ඒ මනුෂ්‍යයාට කෙතේදී සම්බවී ඔහු ඈට බලාත්කාරකොට ඈ සමඟ සයනයකරන්නේ නම්, ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා පමණක් මරනු ලබන්නේය. 26නුමුත් යෞවනියට කිසිවක් නොකරන්න; මරනු ලැබීමට සුදුසු පාපයක් යෞවනී කළේ නැත. මේ කාරණය වනාහි මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව නැගිට ඔහු මරා දැමීම හා සමානය. 27මක්නිසාද ඈ කෙතේදී ඔහුට සම්බවිය: විවාහ බස් දී සිටි ඒ යෞවනිය මොරගැසූ නුමුත් ඈ ගළවන්ට කිසිවෙක් නොසිටියේය.
28විවාහ බස් නොදී සිටින කන්‍යා යෞවනියක් මනුෂ්‍යයෙකුට සම්බවී ඔහු ඈ අල්ලා ඈ සමඟ සයනයකරනවා සම්බවුණොත්, 29ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.
30මනුෂ්‍යයෙක් තම පියාගේ භාර්යාව පාවා නොගත යුතුය, තම පියාගේ යහන් වස්ත්‍රයද ඉවත් නොකළ යුතුය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy