YouVersion Logo
Search Icon

දානියෙල් 3

3
රන් රූපයට නමස්කාර නොකළාවූ යුදෙව්වන් තුන්දෙනා ගිනි උදුනෙන් මුදනු ලැබීම
1නෙබුකද්නෙශර් රජ රියන් හැටක් උසද රියන් හයක් පළලද ඇති රන් රූපයක් සාදා, බබිලෝනි පළාතේ දූරා සමභූමියෙහි පිහිටෙවුවේය. 2තවද නෙබුකද්නෙශර් රජ තමා විසින් පිහිටෙවු රූපය කැපකිරීමට එන හැටියට කියා ඇර, දිසාපතීන්ද අධිපතීන්ද ආණ්ඩුකාරයන්ද විනිශ්චයකාරයන්ද භාණ්ඩාගාරිකයන්ද මන්ත්‍රීවරුන්ද නීතිඥයන්ද පළාත්වල සියලු මුලාදෑනියෝද රැස්කෙරෙවුවේය. 3එවිට දිසාපතීහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද විනිශ්චයකාරයෝද භාණ්ඩාගාරිකයෝද මන්ත්‍රීවරුද නීතිඥයෝද පළාත්වල සියලු මුලාදෑනියෝද නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රූපය කැපකිරීමට රැස්වී, නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රූපය ඉදිරියෙහි සිටියෝය. 4එකල ප්‍රකාශකයා කෑමොරගසා: ජනයෙනි, ජාතීනි, භාෂාවෙනි, 5හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටී, නෙබුකද්නෙශර් රජ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්ට නුඹලාට අණකරනලද්දේය. 6බිම වැටී නමස්කාර නොකරන කවුරුනුමුත් එවේලෙහිම ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේයයි කීවේය. 7එබැවින් සියලු ජනයන්ට හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය ඇසුණු වේලාවේ සියලු ජනයෝද ජාතීහුද භාෂාවෝද බිම වැටී, නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රන් රූපයට නමස්කාර කළෝය. 8එබැවින් ඒ කාලයේ සමහර කල්දි මනුෂ්‍යයෝ ළංවී යුදෙව්වරුන්ට වරද තැබුවෝය. 9ඔව්හු නෙබුකද්නෙශර් රජුට කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා. 10රජ්ජුරුවෙනි, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය ඇසෙන සියල්ලන් බිම වැටී රන් රූපයට නමස්කාරකරන හැටියටද, 11බිම වැටී නමස්කාර නොකරන කවුරුනුමුත් ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන හැටියටද ඔබ අණක් පනවා තිබේ. 12නුමුත් බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ඔබ විසින් පත්කළ යුදෙව් මනුෂ්‍යයන් වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඔබ නොසලකති. ඔවුන් ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැතැයි කීවෝය. 13එකල නෙබුකද්නෙශර් උදහසිනුත් කෝපයෙනුත් යුක්තව, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගෙනෙන්ට අණකෙළේය. එවිට ඔව්හු ඒ මනුෂ්‍යයන් රජු ඉදිරියට ගෙනාවෝය. 14නෙබුකද්නෙශර් ඔවුන්ට කථාකොට: එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, නුඹලා මාගේ දෙවිවරුන්ට සේවයනොකොට, මා විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර නොකර සිටින්නේ අදහසක් පිටද? 15ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය. 16ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත. 17ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක. 18එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය. 19එකල නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය, ෂද්‍රක්ටද මේෂක්ටද අබේද්-නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස්විය. ඔහු කථාකොට, පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදුන රත්කරන්ට අණ කෙළේය. 20තවද ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට ඔහු තමාගේ සේනාවේ බලවත් මනුෂ්‍යයන්ට අණකෙළේය. 21එකල ඔව්හු ඒ මනුෂ්‍යයන් ඔවුන්ගේ පොරෝනද සැට්ටද සළුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ, ඇවිළෙන ගිනි උදුන මැදට හෙළූහ. 22එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය. 23ඒ මනුෂ්‍යයන් තුන් දෙනා වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඇවිළෙන ගිනි උදුන මැදට බැමි පිටින් වැටුණෝය. 24එකල නෙබුකද්නෙශර් රජ විස්මපත්වී, ඉක්මනින් නැගිට, තමාගේ මන්ත්‍රීවරුන්ට කථාකොට: අප විසින් මනුෂ්‍යයන් තුන්දෙනකු බැඳ ගින්නට හෙළුවා නොවේදැයි කීවේය. එසේය, රජ්ජුරුවෙනියි ඔව්හු රජුට උත්තරදෙමින් කීවෝය. 25ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය. 26එවිට නෙබුකද්නෙශර් ඇවිළෙන ගිනි උදුනේ දොරකඩට ළංවී: මහෝත්තම දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන් වන ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, පිටතට එන්නැයි කීවේය. එවිට ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගින්න මැද සිට පිටතට ආවෝය. 27දිසාපතීහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද රජුගේ මන්ත්‍රීවරුද රැස්ව, ඒ මනුෂ්‍යයන්ගේ ශරීර කෙරෙහි ගින්න බල නොපැවැත්වූ බවත් ඔවුන්ගේ ඉසකේවත් නොදෑ බවත් ඔවුන්ගේ පොරෝන වෙනස්වෙලාවත් ගිනිගඳ ඔවුන්ට වැදීලාවත් නැති බවත් දුටුවෝය. 28නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක. 29එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය. 30එකල රජ ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද බබිලෝනි පළාතෙහි උත්තමයන් කෙළේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy