YouVersion Logo
Search Icon

ක්‍රියා 9:22-43

ක්‍රියා 9:22-43 SROV

නුමුත් සාවුල් වඩ වඩා බලවත්ව, මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔප්පුදෙමින්, දමස්කයෙහි විසූ යුදෙව්වරුන් වියවුල් කෙළේය. බොහෝ දවස් ගිය කල, යුදෙව්වරු ඔහු මරන්ට මන්ත්‍රණයකළෝය. නුමුත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්ට ලැබුණේය. ඔහු මරන පිණිස ඔව්හු රෑදාවල් දොරටුවල රැකසිටියෝය. නුමුත් ඔහුගේ ගෝලයෝ රාත්‍රියේ ඔහු රැගෙන, කූඩයක බාමින් ඔහු පවුරෙන් බැස්සෙවුවෝය. ඔහු යෙරුසලමට පැමිණියේ, ගෝලයන්ට එක්වෙන්ට උත්සාහකළේය. නුමුත් ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔවුන් සියල්ලෝ ඔහු ගැන භයවූහ. නුමුත් බාර්ණබස් ඔහු ගෙන ප්‍රේරිතයන් ළඟට කැඳවාගෙන ගොස්, මාර්ගයෙහිදී ඔහු ස්වාමීන්වහන්සේව දුටු හැටිත්, උන්වහන්සේ ඔහුට කථාකළ බවත්, දමස්කයෙහිදී යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීතලෙස දේශනාකළ හැටිත් ඔවුන්ට කියාදුන්නේය. ඔහුද ඔවුන් සමඟ සිට යෙරුසලමෙහි හැසිරෙමින්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් භය නැතුව කථාකෙළේය. ඔහු ග්‍රීක් යුදෙව්වරුන් සමඟ කථාකරමින් වාදකෙළේය; නුමුත් ඔව්හු ඔහු මරන්ට සෙවුවෝය. සහෝදරයෝ ඒ දැන, ඔහු කායිසාරියට ගෙන ගොස්, තාර්සස්ට යැවුවෝය. මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය. තවද පේතෘස් සියලු පළාත්වල ගමන්කරන්නේ, ලිද්දායෙහි විසූ ශුද්ධවන්තයන් වෙතටද ආවේය. එහි අට අවුරුද්දක් අංශභාග රෝගියෙක්ව ඔත්පළව හුන් අයිනෙයස් නම් එක්තරා මනුෂ්‍යයෙක් ඔහුට සම්බවුණේය. පේතෘස් ඔහුට කථාකොට: අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹ සුවකරනසේක. නැගිට, නුඹේ ඇඳ සකස්කරන්නැයි කීවේය. එකෙණෙහිම ඔහු නැගිට්ටේය. ලිද්දායෙහිද ෂාරොනෙහිද විසූ සියල්ලෝ ඔහු දැක, ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය. දොර්කස් යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය. තවද ඒ දවස්වල ඈ රෝගීව මළාය. ඔව්හු ඈ නාවා, උඩුමහලක තැබුවෝය. ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය. එවිට පේතෘස් නැගිට ඔවුන් සමඟ ගියේය. ඔහු ආ කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගන ගියෝය. සියලු වැන්දඹුවෝ ඔහු ළඟ සිට හඬ හඬා, දොර්කස් තමුන් සමඟ සිටියදී මහපු ඇඳුම් සහ වස්ත්‍ර පෙන්නුවෝය. නුමුත් පේතෘස් ඔවුන් සියල්ලන් බැහැරකොට, දණින් හිඳ, යාච්ඤාකර, පසුව මිනිය දෙසට හැරී: තබීතා, නැගිටින්නැයි කීවේය. එවිට ඈ ඇස් ඇර, පේතෘස් දැක හිඳගත්තාය. ඔහු ඈට අත දී, නැගුටුවා, ශුද්ධවන්තයන්ද වැන්දඹුවන්ද කැඳවා, ජීවත්වූ ඈ ඔවුන්ට භාරදුන්නේය. එය යොප්පාව මුළුල්ලෙහි ප්‍රකාශවිය. බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. තවද ඔහු සීමොන් නම් කම්කරුවෙකු වෙත යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy