YouVersion Logo
Search Icon

ක්‍රියා 4:1-22

ක්‍රියා 4:1-22 SROV

ඔවුන් සෙනඟට කථාකරද්දී පූජකයෝද දේවමාළිගාවේ සේනාපතියාද සද්දුසිවරුද සෙනඟට ඔවුන් ඉගැන්වූ බැවිනුත්, යේසුස්වහන්සේ කරණකොටගෙන මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවිනුත් අතිශයෙන් කැලඹී, ඔවුන් කරා පැමිණ, ඔවුන් පිට අත් හෙළා, සවස්වූ බැවින් පසුවදා වන තුරු හිරගෙයි තැබුවෝය. නුමුත් වචනය ඇසූවන්ගෙන් බොහෝ දෙනෙක් අදහාගත්තෝය; ඒ මනුෂ්‍යයන්ගේ ගණන පන්දහසක් පමණ විය. තවද පසුවදා ඔවුන්ගේ මුලාදෑනියෝද වැඩිමහල්ලෝද ලියන්නෝද, උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා: නුඹලා මේක කළේ මොන බලයෙන්ද නොහොත් මොන නාමයෙන්දැයි විචාළෝය. එවිට පේතෘස් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔවුන්ට කියනුයේ, සෙනඟගේ මුලාදෑනියෙනි, වැඩිමහල්ලෙනි, දුර්වල මනුෂ්‍යයෙකුට කළාවූ යහපත් ක්‍රියාවක් ගැන, ඔහු සුවකරනු ලැබුවේ කොයි විධියෙන්දැයි අද අපි විභාගකරනු ලබමු නම්, නුඹලා විසින් කුරුසියෙහි ඇණගසනලද්දාවූද දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝද සියලුම ඉශ්‍රායෙල් සෙනඟද දැනගනිත්වා. උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් සුළුකරනු ලැබුවාවූද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවාවූද ගලය. වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය. එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය. සුවකරනු ලැබූ මනුෂ්‍යයා ඔවුන් සමඟ සිටිනවා දැක, ඊට විරුද්ධව කිසිවක් කියන්ට ඔවුන්ට නොහැකි විය. නුමුත් මන්ත්‍රණ සභාවෙන් පිටතට යන්ට ඔවුන්ට ආඥාකොට, තම තමුන් අතරේ කථාකරගනිමින්: මේ මනුෂ්‍යයන්ට මක්කරමුද? මක්නිසාද විශිෂ්ටවූ ආශ්චර්යයක් ඔවුන් කරණකොටගෙන කරනලද බව යෙරුසලමෙහි වසන්නාවූ සියල්ලන්ට ප්‍රකාශව තිබේ; ඒක නැතැයි කියන්ට අපට නුපුළුවන. නුමුත් සෙනඟ අතරේ එය තවත් දුරට පතළ නොවන පිණිස, මින්මතු කාටවත් මේ නාමයෙන් කථා නොකරන්ට ඔවුන්ට තර්ජනයකරමුයයි කීවෝය. තවද ඔව්හු ඔවුන් ගෙන්වා, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කථා නොකරන ලෙසද නූගන්වන ලෙසද ඔවුන්ට ආඥාකළෝය. නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න. මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථානොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය. සිද්ධවුණු දේ ගැන සියල්ලන් දෙවියන්වහන්සේට ප්‍රශංසාකළ බැවින්, සෙනඟ නිසා ඔවුන්ට දඬුවම්කරන්ට අන්දමක් නොදැක, ඔව්හු ඔවුන්ට තව දුරටත් තර්ජනයකොට යන්ට හැරියෝය. මක්නිසාද මේ ආශ්චර්යයෙන් සුවකරනු ලැබූ මනුෂ්‍යයා සතළිස් අවුරුද්දකට වඩා වයස්ව සිටියේය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy