YouVersion Logo
Search Icon

ක්‍රියා 24

24
ප්‍රේරිත තැන අධිපතිවූ පීලික්ස් ඉදිරියේදී උත්තරදීම
1පස් දවසකට පසු උත්තම පූජකවූ අනනියස් සමහර වැඩිමහල්ලන්ද තෙර්තුලස් නම් එක්තරා ව්‍යක්තයෙක්ද සමඟ බැස ඇවිත් පාවුල්ට විරුද්ධව ආණ්ඩුකාරයාට පැමිණිලිකෙළේය. 2ඔහු කැඳවනු ලැබූ කල, තෙර්තුලස් ඔහුට වරද තබන්ට පටන්ගෙන කථාකරමින්:
අති උත්තමවූ පීලික්ස්නි, ඔබ කරණකොටගෙන අප බොහෝ සමාදානය භුක්තිවිඳන බවද, ඔබගේ පාලනයෙන් මේ ජාතිය උදෙසා දුර්භාග්‍ය දේවල් පහකරන්ට යෙදුණ බවද, 3සෑම විටම සෑම තැන්වලදීම සියලු ආකාර ස්තුතිවන්තකමෙන් අපි ඒත්තුගනිමුව. 4නුමුත් මම වඩා ඔබට වෙහෙස නොකරන පිණිස ලුහුඬෙන් අප කියන දේ ඔබගේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි. 5මක්නිසාද මේ මනුෂ්‍යයා දුර්ජනයෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද නාසරියයන්ගේ ලබ්ධියේ මූලිකයෙක් බවද දැනගතිමුව, 6මොහු දේවමාළිගාව අපවිත්‍ර කරන්ටත් හැදුවේය. අපි ඔහු අල්ලාගතිමුව.#24:6 සමහර පුරාණ පිටපත්වල වැඩිදුර මෙසේ පෙනේ: අප විසින් අපේ ව්‍යවස්ථාව පරිද්දෙන් ඔහු විනිශ්වය කරන්ට කැමතිවුණ නුමුත්, අධිපතියාවූ ලිසියස් ඇවිත් මහත් බලහත්කාරයෙන් අපේ අත්වලින් ඔහු උදුරාගන ගොස්, ඔහුට වරද තබන්නන්ට ඔබ වෙතට එන්ට අණකෙළේය. 8යමක් ගැන අපි මොහුට වරද තබමුද ඒ සියල්ල මොහුගෙන්ම විචාරා දැනගන්ට ඔබට පුළුවනැයි කීවේය. 9යුදෙව්වරුද ඒ කාරණා එසේමයයි කියමින් පැමිණිල්ලට එකඟවූවෝය.
10පාවුල්ට කථාකරන්ට ආණ්ඩුකාරයා සංඥාකළ කල්හි ඔහු උත්තරදෙමින්:
ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජාතියට විනිශ්චයකාරයෙක්ව සිටින බව මම දන්න නිසා සතුටින් මාගේ කාරණය ගැන උත්තරදෙමි. 11නමස්කාර කරන පිණිස මා යෙරුලමට ගොස් දැනට දොළොස් දවසකට වඩා නැති බව ඔබට දැනගන්ට පුළුවන. 12දේවමාළිගාවේදීවත් සිනගෝගවලදීවත් නුවරදීවත් කිසිකෙනෙකු සමඟ මා වාදකරනවා හෝ සමූහයන් කළඹනවා ඔව්හු නුදුටුවෝය. 13ඔවුන් දැන් මා කෙරෙහි තබන වරද ඔබට ඔප්පුකරන්ටත් ඔවුන්ට බැරිය. 14නුමුත් මේක ඔබ ඉදිරියෙහි ඒත්තුගනිමි: එනම්, ලබ්ධියක්යයි කියා ඔවුන් කියන්නාවූ මාර්ගය ලෙස මම අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට සේවයකරමි. ව්‍යවස්ථාවේද අනාගතවාක්‍යවලද ලියා තිබෙන සියල්ලත් විශ්වාස කරමි. 15ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි මොවුන් බලා සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි. 16ඒ නිසා මම දෙවියන්වහන්සේ කෙරෙහිත් මනුෂ්‍යයන් කෙරෙහිත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්ටද නිතරම උත්සාහකරමි. 17ඉතින් අවුරුදු කීපයකට පසු මාගේ ජාතියට දානවල්ද පූජාද දෙන පිණිස ආවෙමි. 18ඒ අතරේදී සමූහයක්වත් කෝලාහලයක්වත් නැතුව, මා දේවමාළිගාවෙහි පවිත්‍රකරනු ලැබ සිටිනවා ඔවුන්ට සම්බවිය. එහෙත් ආසියාවේ සිට ආවාවූ සමහර යුදෙව්වරු එහි සිටියෝය. 19මට විරුද්ධව යමක් ඔවුන්ට තිබුණේ නම්, මට දෝෂාරෝපණයකරන පිණිස මෙහි ඔබ ඉදිරියට එන්ට ඔවුන්ට යුතුව තිබුණේය. 20නැතහොත්, මම මොවුන් අතරේ සිට: අද නුඹලා ඉදිරියේදී මා විචාරනු ලබන්නේ මළවුන්ගෙන් නැගිටීම ගැනයයි මොරගසා කී එකම කීම මිස, 21මා සභාව ඉදිරියෙහි සිටි කල මා අත මොන අපරාධයක් මොවුන්ට සම්බවුණද කියා මොව්හුම කියත්වයි කීවේය.
පීලික්ස් නඩුව කල් දැමීම
22නුමුත් පීලික්ස් ඒ මාර්ගය ගැන කාරණා වඩා හරිලෙස දැන සිටියේ, අධිපතිවූ ලිසියස් ආ කල නුඹලාගේ කාරණය තීන්දුකරන්නෙමියි කියා ඔවුන් නැවැත්තුවේය. 23තවද ඔහු රැකවල් කරන්ටත් ඔහුට නිදහස දෙන්ටත් ඔහුගේ මිත්‍රයන්ගෙන් කිසිවෙකු විසින් ඔහුට උපස්ථානකිරීම තහනම් නොකරන්ටත් සියයකට මුලාදෑනියාට ඔහු අණකෙළේය.
24කීප දවසකට පසු පීලික්ස් යුදෙව් ස්ත්‍රියෙක්වූ තමාගේ භාර්යාව වන දෘසිල්ලා සමඟ ඇවිත් පාවුල් ගෙන්වා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇත්තාවූ ඇදහිල්ල ගැන ඔහු කථාකරනවා ඇසුවේය. 25ඔහු ධර්මිෂ්ඨකමද පමණ දැන ක්‍රියාකිරීමද පැමිණෙන්නාවූ විනිශ්චයද ගැන කථාකරද්දී පීලික්ස් භයපත්ව: දැනට යන්න; මට ප්‍රස්තාවක් ලැබුණාම නුඹට අඬගස්වන්නෙමියි කීවේය. 26ඒ ඇර තමාට පාවුල් මුදල් දෙනවා ඇතැයි ඔහු බලාපොරොත්තුවුණේය. එබැවින් නැවත නැවත ඔහු කැඳවා ඔහු සමඟ කථාකෙළේය. 27නුමුත් දෑවුරුද්දක් සම්පූර්ණවූ කල පීලික්ස්ගේ නිලයට පොර්කියුස් පෙස්තුස් පත්කරනලද්දේය; පීලික්ස් වනාහි යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල් නිදහස් නොකර ගියේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy