YouVersion Logo
Search Icon

ක්‍රියා 19:21-41

ක්‍රියා 19:21-41 SROV

මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා, මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය. ඔහු තමාට සේවයකළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස්ද එරස්තස්ද මකිදෝනියට යවා, තමාම කලක් ආසියාවෙහි නැවතී සිටියේය. ඒ කාලය පමණේදී ඒ ලබ්ධි මාර්ගය ගැන මහත් කැලඹීමක් හටගත්තේය. මක්නිසාද අර්තෙමිස්ගේ දේවාලයේ රිදී රූප සාදන්නාවූ දෙමේත්‍රියස් නම් රිදී කරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවාදුන්නේය. ඔහු ඔවුන්ද එබඳුවූ කර්මාන්තකාරයන්ද රැස්කරවා: මහත්වරුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව නුඹලා දන්නහුය. මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ. එහෙයින් අපගේ මේ කර්මාන්තය සුළු බවට පැමිණෙන්ට පුළුවන්වා පමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාරකරන්නාවූ මහත් දේවතාවී වූ අර්තෙමිස්ගේ මාළිගාව අගෞරවයට පත්වීමද ඇගේ මහන්තත්ත්වය පවා පහවීයාමද වෙන්ට පුළුවනැයි කීවෝය. ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීයයි මොරගසමින් කීවෝය. එවිට නුවර වියවුලෙන් පිරුණාය. ඔව්හු, පාවුල් සමඟ ගමන්කළාවූ ඔහුගේ ගමන් හවුල්කරු මකිදෝනියේ මනුෂ්‍යයන්වූ ගායස්ද අරිස්තාර්කස්ද අල්ලාගෙන එක්සිත්ව නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවුවෝය. පාවුල් සෙනඟ මැදට යන්ට සිතූ කල ගෝලයෝ ඔහුට ඉඩ නොහැරියෝය. ඔහුට මිත්‍රව සිටිය ආසියාවේ අධිපතීන්ගෙන් සමහරෙක්ද නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින්වත් ඇතුල් නොවන ලෙස ඉල්ලා ඔහුට කියා ඇරියෝය. සභාව වියවුල්වූ බැවින්, සමහරෙක් එකක්ද අන් සමහරෙක් වෙන එකක්ද කියමින් මොරගැසුවෝය; ඔවුන්ගෙන් වැඩි කොටස තුමූ මොන කාරණාවක් නිසා එකතුවුණෝදැයි නොදැන සිටියෝය. යුදෙව්වරුන් විසින් ඉදිරිපත් කරනලද අලෙක්ෂන්දර් ඔව්හු සමූහයා අතරෙන් ගෙනාවෝය. අලෙක්ෂන්දර්ද අතින් සංඥාකොට, සමූහයාට උත්තරදෙන්ට කැමතිවිය. නුමුත් ඔහු යුදෙව්වෙක් බව ඔව්හු දැනගත් විට: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීය කියා දෙපැයක් පමණ සියල්ලෝම එක හඬින් මොරගැසූහ. නුවර ලේකම් තැන සමූහයා සන්සිඳුවා: එපීසයේ මනුෂ්‍යයෙනි, එපීසවරුන්ගේ නුවර වනාහි අර්තෙමිස්ගේ මාළිගාවේද සියුස් ළඟින් වැටුණාවූ රූපයේද රැකවලී බව නොදන්න මනුෂ්‍යයා කවුද? මෙසේ මේ දේවලට විරුද්ධව යමක් කියන්ට බැරි හෙයින් නුඹලා ඉක්මනින් කිසිවක් නොකොට නිශ්චලව සිටින්ට යුතුය. මක්නිසාද නුඹලා මෙහි ගෙනාවාවූ මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම්කරන්නෝවත් අපේ දේවතාවීට අපහාසකරන්නෝවත් නොවෙති. එහෙයින් යමෙකුට විරුද්ධව දෙමේත්‍රියස්ගේද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේද පැමිණිල්ලක් ඇත්නම්, නඩු දවස් තිබේ, අධිපතියෝද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධව පැමිණිලිකරත්වා. නුමුත් නුඹලා වෙන කාරණා ගැන විචාරවු නම්, එය නියම සභාවේදී නිශ්චයකරනු ලැබේ. මක්නිසාද මේ කෝලාහල රැස්වීම ඇතිවීම ගැන අපට උත්තරදෙන්ට පුළුවන්වන ලෙස ඊට කිසි කාරණාවක් නැති බැවින්, අද දවසේ කැරැල්ල ගැන අප කෙරෙහිත් දෝෂාරෝපණයක් පැමිණෙන්ට පුළුවනැයි කීවේය. ඔහු මෙසේ කියා සභාව යන්ට ඇරියේය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy