YouVersion Logo
Search Icon

ක්‍රියා 17:1-15

ක්‍රියා 17:1-15 SROV

ඔව්හු අම්පිපොලිස හා අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආවෝය, එහි යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබුණේය. පාවුල් තමාගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස්, සබත් දවස් තුනක් ඔවුන්ට කථාකර, ලියවිලි තෝරාදෙමින්, ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය කියාද, නුඹලාට මා විසින් ප්‍රකාශකරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේය කියාද පෙන්වා ප්‍රකාශකෙළේය. ඔවුන්ගෙන් සමහරෙක්ද භක්තිවන්තවූ ග්‍රීක්වරුන්ගෙන් මහත් සමූහයක්ද ප්‍රධාන ස්ත්‍රීන්ගෙන් කීපදෙනෙක්ද ඇදහීමට පමුණුවනු ලැබ, පාවුල් හා සීලස් සමඟ සමාගම් වූවෝය. නුමුත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, අධමයන් අතරෙන් සමහර අසත්පුරුෂයන් කැඳවාගන, සමූහයක් රැස්කරවා, නුවර කලඹා යාසොන්ගේ ගේ ළඟට පැමිණ, සමූහයා වෙතට ඔවුන් පිටතට ගෙනෙන්ට තැත්කළෝය. නුමුත් ඔව්හු ඔවුන් සොයා නොදැක, යාසොන් සහ සමහර සහෝදරයන්ද නුවර මුලාදෑනීන් ළඟට ඇදගන ගොස්: ලෝකය පෙරළුවාවූ මොව්හු මෙහිත් ඇවිත් සිටිති; යාසොන් ඔවුන් පිළිගත්තේය. මොවුන් සියල්ලෝද යේසුස් නම් අන් රජෙක් ඇතැයි කියා කායිසර්ගේ නියෝගවලට විරුද්ධව ක්‍රියාකරතියි මොරගසා කියමින්, මේ කාරණා ඇසූ සමූහයාද නුවර මුලාදෑනීන්ද කැලඹෙවුවෝය. ඔව්හු යාසොන්ගෙන්ද අනික් අයවලුන්ගෙන්ද ඇප ගෙන ඔවුන් යන්ට ඇරියෝය. එවේලේම සහෝදරයෝ රාත්‍රියේ පාවුල් හා සීලස් බෙරීයයට ඇරියෝය. ඔව්හු එහි පැමිණ යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වූවෝය. ඔව්හු තෙසලෝනිකයෙහි අයවලුන්ට වඩා උතුම් වූවෝය. මක්නිසාද ඔව්හු මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින්, සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය. එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ග්‍රීක් කුල ස්ත්‍රීන් හා පුරුෂයන්ගෙන් කීපදෙනෙක්ද අදහාගත්තෝය. නුමුත් පාවුල් විසින් බෙරීයයෙහිදීත් දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව තෙසලෝනිකයේ යුදෙව්වරු දැන, එතැනටත් පැමිණ, සමූහයා පොලඹා කැලඹෙවුවෝය. එවිට සහෝදරයෝ පාවුල් මුහුද දක්වා යන්ට එවේලේම ඔහු පිටත්කර ඇරියෝය. සීලස්ද තිමෝතියස්ද එහිම නැවතී සිටියෝය. පාවුල් කැඳවාගන ගිය අය අතීනසය දක්වා ඔහු ගෙනගොස්, ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට කියා සීලස්ටද තිමෝතියස්ටද කියන ලෙස අණ ලැබ, පිටත්ව ගියෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy