YouVersion Logo
Search Icon

ක්‍රියා 16:22-34

ක්‍රියා 16:22-34 SROV

එවිට සමූහයා ඔවුන්ට විරුද්ධව එක්ව නැගුටුණෝය. නඩුකාරයෝද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාදමා, ඔවුන්ට කෝටුවලින් තළන්ට අණකළෝය. ඔව්හු ඔවුන්ට බොහෝ පහර දුන්නායින් පසු හිරගෙයි දමා, ඔවුන් ප්‍රවේසමෙන් රැකවල්කරන්ට හිරගෙයි මුලාදෑනියාට අණකළෝය. ඔහු එවැනි අණක් ලැබූ බැවින් ඔවුන් ඇතුල් හිරගෙයි දමා, ඔවුන්ගේ පාද සවිලෙස දඬුගැසුවේය. නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය; හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය. එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය. නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය. එකල ඔහු එළි ඉල්ලාගන ඇතුළට පැන, භයින් වෙවුලමින්, පාවුල් සහ සීලස් ඉදිරියෙහි වැටී, ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට: ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය. තවද ඔව්හු ඔහුගේ ගෙදර වැසි සියල්ලන් ඇතුළුව ඔහුට ස්වාමීන්වහන්සේගේ වචනය කියාදුන්නෝය. ඔහු රාත්‍රියේ ඒ පැයේදීම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාල සේදුවේය; ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්මකරනු ලැබුවෝය. ඔහු ඉහළ තමාගේ ගෙට ඔවුන් කැඳවාගන ගොස්, ඔවුන් ඉදිරියෙහි කෑම මේසයක් තබා, තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ අදහමින් බොහෝසේ ප්‍රීතිවූයේය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy