YouVersion Logo
Search Icon

ක්‍රියා 11

11
පේතෘස්ට දොස්තැබීම හා ඔහුගේ උත්තරදීම
1අන්‍යජාතීන් විසින්ද දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යුදෙයෙහි සිටියාවූ ප්‍රෙරිතයන්ටත් සහෝදරයන්ටත් ආරංචිවිය. 2පේතෘස් යෙරුසලමට ආ කල චර්මඡේදිතයෝ ඔහු සමඟ වාදකරමින්: 3නුඹ අචර්මඡේදිත මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන් සමඟ කෑයෙහියයි කීවෝය. 4නුමුත් පේතෘස් ඒ කාරණය මුල පටන් ක්‍රමයෙන් ඔවුන්ට කියාදෙන්ට පටන්ගෙන: 5මම යොප්පා නුවර යාච්ඤාකරමින් සිටි කල මූර්ඡාවූයෙම්, සතර කොනෙන් අහසෙන් බස්වනලද මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් බැස එනවා දර්ශනයෙන් දුටිමි; ඒක මා ළඟටම පැමිණියේය. 6ඒ දෙස මාගේ ඇස් යොමා කල්පනාකළ විට, පොළොවේ සිවුපාවුන්ද වන මෘගයන්ද බඩගාන ජාතීන්ද ආකාශ පක්ෂීන්ද දුටිමි. 7පේතෘස්, නැගිට මරා කන්නැයි මට කියන ශබ්දයකුත් ඇසීමි. 8මමද: ස්වාමිනි, එසේ නොවේවා. මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් මාගේ කටට ඇතුල් නොවීයයි කීවෙමි. 9නුමුත් ශබ්දයක් දෙවෙනි වාරයෙහි අහසෙන් මට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ නුඹ අකැපයයි නොකියන්නැයි කීය. 10තුන්වරක්ම මෙය කරනලද්දේය. නැවත සියල්ල අහසට ඇදගන්නාලද්දේය. 11තවද එවේලේම කායිසාරියෙන් මා ළඟට එවනලද මනුෂ්‍යයෝ තුන්දෙනෙක් අප උන් ගෙය ඉදිරියෙහි සිටියෝය. 12ආත්මයාණන්වහන්සේද, ප්‍රභේදයක් නොකොට ඔවුන් සමඟ යන ලෙස මට අණකළසේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියෝය; අපි ඒ මනුෂ්‍යයාගේ ගෙට ඇතුල්වුණෙමුව. 13එවිට ඔහු තමාගේ ගෙයි දේවදූතයා සිටිනවා දුටු හැටිත්, යොප්පාවට මනුෂ්‍යයන් යවා පේතෘස් නම්ලත් සීමොන් කැඳවන්න, 14ඔහු වනාහි නුඹ සහ නුඹේ ගෙයි වැසි සියල්ලන්ද ගැළවීමට පමුණුවන්නාවූ වචන නුඹට කියන්නේයයි තමාට කී බවත් අපට දැන්වූයේය. 15මා කථාකරන්ට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ මුලදී අප කෙරෙහි මෙන්ම ඔවුන් කෙරෙහිත් පහළවූසේක. 16එකල: යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය, නුඹලා ශුද්ධාත්මයෙන් බව්තීස්ම ලබන්නහුයයි ස්වාමීන්වහන්සේ කී වචනය මට මතක්විය. 17එහෙයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අදහාගත් කල්හි අපට දුන්නාක්මෙන්ම දෙවියන්වහන්සේ ඔවුන්ටත් එම දීමනාව දුන් බැවින්, දෙවියන්වහන්සේට විරුද්ධව සිටින්ට මම කවරෙක්දැයි කීවේය. 18ඔව්හු ඒ අසා, නිශ්ශබ්දවී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය.
අන්තියෝකියේ අන්‍යජාතිකයන්ගේ සභාව
19ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබුවාවූ අය යුදෙව්වරුන්ට මිස වෙන කාටවත් වචනය නොකියා, පෙනිකියද කුප්‍රසද අන්තියෝකියද දක්වා ගමන්කළෝය. 20නුමුත් කුප්‍රසේද කිරේනියේද මනුෂ්‍යයෝවූ ඔවුන්ගෙන් සමහරෙක් අන්තියෝකියට පැමිණ ග්‍රීකයන්ටත් කථාකරමින්, ස්වාමිවූ යේසුස්වහන්සේ ගැන දේශනාකළෝය. 21ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයේය. විශ්වාසකළාවූ විශාල ගණනක් ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය. 22ඔවුන් ගැන ප්‍රවෘත්තිය යෙරුසලමෙහි සභාවට සැලවිය. ඔව්හුද; අන්තියෝකිය දක්වා යන්ට බාර්ණබස් යැවුවෝය. 23ඔහු ඇවිත් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක, සන්තෝෂවී, ස්වාමීන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතින් ඇලුම්ව සිටින්ට ඔවුන් සියල්ලන්ට අවවාදකෙළේය. 24මක්නිසාද ඔහු යහපත්වූ ශුද්ධාත්මයෙන්ද ඇදහිල්ලෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක්ය. මහත් සමූහයක්ද ස්වාමීන්වහන්සේට එක්කරනලද්දෝය. 25ඔහු සාවුල් සොයන්ට තාර්සස්ට ගොස්, 26ඔහු සම්බව, අන්තියෝකියට කැඳවාගන ආවේය. තවද ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහිම සභාව සමඟ රැස්ව, මහත් සමූහයකට ඉගැන්නුවෝය; ගෝලයෝ ක්‍රිස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදීය.
බාර්ණබස් සහ සාවුල් යෙරුසලමට යවනු ලැබීම
27ඒ දවස්වලදී යෙරුසලමෙන් ප්‍රොපේතවරු අන්තියෝකියට ආවෝය. 28ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැගිට, මුළු ලෝකයෙහි මහත් සාගතයක් වන්නේයයි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන්වූයේය. ඒ වනාහි ක්ලෞදියස්ගේ දවස්වලදී සිදුවිය. 29එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයෙහි විසූ සහෝදරයන්ට ආධාරෝපකාර යවන්ට නියමකරගත්තෝය. 30ඔව්හු එසේ කරමින්, බාර්ණබස් සහ සාවුල් අත වැඩිමහල්ලන්ට ඒවා හැරියෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy