YouVersion Logo
Search Icon

ක්‍රියා 1:1-11

ක්‍රියා 1:1-11 SROV

එම්බා තෙයෝපිලස්නි, යේසුස්වහන්සේ තමන් විසින් තෝරාගත් ප්‍රේරිතයන්ට ශුද්ධාත්මය කරණකොටගෙන අණදුන් පසු, ඔසවාගනු ලැබූ දවස දක්වා, උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනයකෙළෙමි. උන්වහන්සේ වද වින්ද පසු සතළිස් දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂිවලින් තමන්ම ජීවමානව ඔවුන්ට ප්‍රකාශවූසේක. උන්වහන්සේ ඔවුන් සමඟ රැස්ව ඔවුන්ට ආඥාකරමින්: යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන්වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න. මක්නිසාද යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය; නුමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුයයි කීසේක. එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත. නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. උන්වහන්සේ මේ කාරණා කී කල්හි, ඔවුන් බලා සිටියදීම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී, ඔවුන්ට නොපෙනී ගියසේක. උන්වහන්සේ යන කල, ඔවුන් ස්වර්ගය දෙස ඕනෑකමින් බලා සිටියදී, සුදු වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට, ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy