YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 12

12
දාවිත්ගේ පශ්චාත්තාපය. සාලමොන්ගේ උප්පැන්නය. රබ්බා ගැනීම
1තවද ස්වාමීන්වහන්සේ දාවිත් වෙතට නාතාන් යැවූසේක. ඔහු දාවිත් ළඟට ඇවිත් කථාකොට: එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියෝය; එක්කෙනෙක් ධනවතෙක්ය, අනික් අය දිළින්දෙක්ය. 2ධනවතාට බැටළු රැළවල්ද ගව රැළවල්ද ඉතා මහත් ගණනක් වූහ. 3නුමුත් දිළින්දාට තමා මිලේට ගෙන ඇතිකළාවූ එක කුඩා බැටළු වැස්සියෙකු හැර වෙන කිසිවක් නොවීය. ඈ ඔහු වෙතම ඔහුගේ දරුවන් සමඟ වැඩෙමින්ද ඔහුගේ කෑම ටිකෙන් කමින්ද ඔහුගේ කුසලානෙන් බොමින්ද ඔහුගේ ළයෙහි හෝමින්ද ඔහුට දුවෙකු මෙන් සිටියාය. 4ධනවතා ළඟට ගමන් යන්නෙක් ආයේය, ඔහු තමා ළඟට ආ මගියාට කෑම පිළියෙළකරන පිණිස තමාගේම බැටළුවන්ගෙන්වත් ගවයින්ගෙන්වත් ගන්ට අකැමැතිවී දිළින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමා ළඟට ආ මනුෂ්‍යයාට කෑම පිළියෙළකෙළේයයි ඔහුට කීය. 5එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය. 6ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
7එවිට නාතාන් දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයා නුඹය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකර මමම නුඹ සාවුල් අතින් ගළවාගතිමි. 8මම නුඹේ ස්වාමිහුගේ වංශයද නුඹේ ළයට නුඹේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යූදා වංශයත් නුඹට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ නුඹට දෙන්නෙමි. 9නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය. 10ඉතින් නුඹ මා සුළුකොට සිතා හිත්තීය උරියාගේ භාර්යාව නුඹට භාර්යා කොට ගත් බැවින් කඩුව කිසිකලක නුඹේ වංශයෙන් පහනොවන්නේය. 11ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්ති උපදවා, නුඹේ ඇස් ඉදිරියේදී නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වාසියෙකුට දෙන්නෙමි; හෙතෙම මේ සූර්යයා ඉදිරියෙහි නුඹේ භාර්යාවන් සමඟ සයනයකරන්නේය. 12මක්නිසාද නුඹ ඒක රහසින්කෙළහිය. නුමුත් මම සියලු ඉශ්‍රායෙල්වරුන්ද සූර්යයාද ඉදිරියෙහි මේ දේ කරවන්නෙමියි කියනසේකැයි කීවේය. 13එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක, නුඹ නොනස්නෙහිය. 14නුමුත් නුඹ මේ ක්‍රියාව කරණකොටගෙන අපහාසකරන්ට ස්වාමීන්වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් නුඹ නිසා උපන් ළදරුවා සැබවින්ම මැරෙන්නේයයි දාවිත්ට කීයේය. 15නාතාන් තමාගේ ගෙදරට ගියේය.
උරියාගේ භාර්යාව දාවිත් නිසා බිහිකළ ළදරුවාට ස්වාමීන්වහන්සේ පහරදුන්සේක, ළදරුවා ඉතා රෝගාතුරවිය. 16එබැවින් දාවිත් ළදරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කෙළේය; දාවිත් නිරාහාරව සිට ගෙට ඇතුල්වී රාත්‍රිය මුළුල්ලෙහි බිම වැතිර උන්නේය. 17ඔහු බිමෙන් නැගුටුවන්ට ඔහුගේ ගෙදර වැඩිමහල්ලෝ නැගිට ඔහු ළඟ සිටියෝය. එහෙත් ඔහු කැමතිවුණේ නැත, ඔවුන් සමඟ කෑම කෑවෙත් නැත. 18සත්වෙනිදා ළදරුවා මැරුණේය. දාවිත්ගේ සේවකයෝ ළදරුවා මැරුණු බව ඔහුට දන්වන්ට භයවූහ. මක්නිසාද: ළදරුවා ජීවත්ව සිටියදී අප ඔහුට කථාකළ විට ඔහු අපේ හඬට ඇහුම්කන්දුන්නේ නැත. ඉදින් දැන් ළදරුවා මැරුණ බව ඔහුට කීවොත් තමාටම යම් අනතුරක් කරනොගන්නේදැයි ඔව්හු කීවෝය. 19නුමුත් දාවිත් තමාගේ මෙහෙකරුවන් කොඳුරනවා දැක ළදරුවා මැරුණු බව ඔහුට දැනී: ළදරුවා මැරුණාදැයි මෙහෙකරුවන්ගෙන් ඇසීය. මැරුණායයි ඔව්හු කීවෝය. 20එවිට දාවිත් බිමින් නැගිට නා තෙල්ගාගන, තමාගේ වස්ත්‍ර මාරුකර, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වී නමස්කාරකොට, පසුව තමාගේ ගෙට ආයේය; තවද ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්ට කියා ඉල්ලා කෑම අනුභවකෙළේය. 21එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔබ කළ මේ දේ මොකද? ළදරුවා ජීවත්ව සිටියදී ඔබ ඔහු ගැන නිරාහාරව ඇඬුවෙහිය; නුමුත් ළදරුවා මැරුණු විට ඔබ නැගිට කෑම කෑයෙහියයි කීවෝය. 22ඔහුද: ළදරුවා ජීවත්ව සිටියදී මම නිරාහාරව සිට ඇඬුවෙමි. මක්නිසාද–ළදරුවා ජීවත්වෙන ලෙස ස්වාමීන්වහන්සේ මට කරුණාකරනසේක්ද නැද්දැයි දන්නේ කවුදැයි සිතුවෙමි. 23නුමුත් දැන් ඔහු මැරුණායින් පසු කුමට නිරාහාරව සිටිම්ද? ඔහු නැවත ගෙන්වාගන්ට මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැතැයි කීය. 24පසුව දාවිත් තමාගේ භාර්යාවවූ බැත්-ෂෙබා සනසා ඈ ළඟට පැමිණ ඈ සමඟ සයනයකෙළේය. ඈ පුත්‍රයෙකු බිහිකළාය, ඔහු සාලමොන් යන නාමය ඔහුට තැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක; 25උන්වහන්සේ අනාගතවක්තෘවූ නාතාන් අත කියා හැරියසේක, ස්වාමීන්වහන්සේ නිසා ඔහුට යෙදීදියා#12:25 එනම්, ස්වාමීන්වහන්සේ ප්‍රේමකළ තැනැත්තා. යන නම තබන ලද්දේය.
26යෝවාබ් අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාට විරුද්ධව යුද්ධකොට රාජධානිය අල්ලාගත්තේය. 27යෝවාබ් දාවිත් වෙතට පණිවිඩකාරයන් යවමින්: රබ්බාට විරුද්ධව යුද්ධකෙළෙමි, ජල නුවරද අල්වාගතිමි. 28එබැවින් මා විසින් ඒ නුවර අල්ලා ගැනීමෙන් ඊට මාගේ නාමය නොලැබෙන පිණිස ඔබ ඉතිරි සෙනඟ රැස්කරගෙන නුවරට විරුද්ධව කඳවුරු බැඳ ඒක අල්වාගත මැනවියි කියන්ට කීවේය. 29දාවිත් වනාහි මුළු සෙනඟ රැස්කරගන රබ්බාට ගොස් ඊට විරුද්ධව සටන්කොට එය අල්වාගත්තේය. 30ඔහු ඔවුන්ගේ රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගත්තේය; ඒකේ බර රන් තලෙන්තයක්ය, එහි අනර්ඝ මැණික් ගල් අල්ලා තිබුණේය; ඒක දාවිත්ගේ හිසේ තබන ලද්දේය. ඔහු නුවරින් කොල්ලය බොහෝ සෙයින්ම ගෙනායේය. 31ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද#12:31 ඇතැමෙක් මෙය: කියත් යනාදියෙන්ද ගඩොල් උදුනේද වැඩ කරන්ට සැලැස්සුවේය කියාත් කිව හැකි බැව් කල්පනාකරත්. මඩින යකඩ යන්ත්‍රවලින්ද යකඩ පොරෝවලින්ද කපා දැමුවේය, ගඩොල් උදුන මැදින් යන්ටද සැලැස්සුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත් සහ මුළු සෙනඟ යෙරුසලමට හැරී ආවෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy