YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 9

9
සාමුවෙල් සහ සාවුල් සම්මුඛවීම
1බෙන්යමිය මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ, අපියාගේ පුත්‍රයා වන බෙඛෝරත්ගේ පුත්‍රවූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍රවූ කීෂ් නම්වූ බෙන්යමිය මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු මහත් ධනවතෙක්ය. 2ඔහුට සාවුල් නම්වූ තරුණ ශෝභන පුත්‍රයෙක් සිටියේය. ඔහුට වඩා ශෝභන කෙනෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ සිටියේ නැත. ඔහු සෙනඟ අතරේ සියලුදෙනාටම වඩා උරහිස පටන් ඉහළට උස්ව සිටියේය. 3සාවුල්ගේ පියවූ කීෂ්ගේ කොටළුවෝ නැතිවුණෝය. කීෂ් තමාගේ පුත්‍රවූ සාවුල්ට කථාකොට: නුඹ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු අඬගහගෙන පිටත්ව ගොස් කොටළුවන් සොයාන්නැයි කීවේය. 4ඔහු එප්‍රායිම් කඳු රටෙහිද ෂාලිෂා රටෙහිද ඇවිද්ද නුමුත් උන් සම්බවුණේ නැත. ඔව්හු ෂාලීම් රටෙහිත් ඇවිද්දෝය, උන් එහිත් නැති බැවින් ඔහු බෙන්යමින් රටෙහිද ඇවිද්දේය. නුමුත් ඔවුන්ට උන් සම්බවුණේ නැත. 5ඔවුන් ශූප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි තමාගේ වැඩකාරයාට කථාකොට: අපි හැරී යමු; නැත්නම් මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වෙනවා ඇතැයි කීවේය. 6ඔහුද: මේ නුවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් සිටී, ඒ මනුෂ්‍යයා ගෞරවණීය කෙනෙක්ය; ඔහු කියන සියල්ල සැබවින් සිදුවෙයි. අපි එහි යමු; සමහරවිට අප යන ගමන ගැන ඔහු අපට දන්වනවා ඇතැයි ඔහුට කීවේය. 7එවිට සාවුල් තමාගේ වැඩකාරයාට කථාකොට: යනවානම් අපි ඒ මනුෂ්‍යයාට කුමක් ගෙනයමුද? මක්නිසාද අපේ භාජනවල තිබුණ කෑම කම්මුතුවිය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙනයන්ට කිසි තෑග්ගක් නැත්තේය. අප ළඟ කුමක් තිබේදැයි කීවේය. 8වැඩකාරයා නැවත සාවුල්ට උත්තරදෙමින්: මා අතේ රිදී ෂෙකෙලකින් සතරෙන් පංගුවක් තිබේ. අපේ මාර්ගය අපට දන්වන පිණිස ඒක දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමියි කීවේය. 9(පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.) 10එවිට සාවුල්: නුඹ කීවා හොඳයි; එන්න, අපි යමුයයි තමාගේ වැඩකාරයාට කීවේය. මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝය. 11ඔව්හු නුවර නැගුමේ යන කල, යෞවනියන් වතුර අදින පිණිස පිටතට එනවා ඔවුන්ට සම්බව: දිවස් ඇත්තා මෙහි ඉන්නවාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. 12ඔව්හු උත්තරදෙමින්: ඉන්නවාය; ඔහු නුඹ ඉදිරියෙහිය. ඉක්මන්කරන්න, මක්නිසාද උස් තැනදී අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට ඇවිත් සිටියි. 13නුඹලා නුවරට ඇතුල්වූ වහාම කෑම කන පිණිස උස් තැනට නගින්ට මත්තෙන් ඔහු සම්බවෙයි. මක්නිසාද ඔහු පූජාවට ආශීර්වාදකරන බැවින් ඔහු එනතුරු සෙනඟ කන්නේ නැත; කැඳවනලද්දෝ ඉන් පසුව කති. ඉන්නිසා යන්න; මක්නිසාද මේ වේලාවට ඔහු නුඹලාට සම්බවේයයි කීවෝය. 14ඔවුන් නුවරට ගොස් නුවර ඇතුළට පැමිණදේදී සාමුවෙල් උස් තැනට යන පිණිස ඔවුන් ඉස්සරහට පිටතට ආවේය.
15සාවුල් එන්ට දවසකට ප්‍රථම ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: 16මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු නුඹ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය. 17සාමුවෙල් සාවුල් දුටු විට ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: මෙන්න, මා නුඹට කී මනුෂ්‍යයා! මොහු මාගේ සෙනඟ කෙරෙහි බලය පවත්වන්නේයයි කීසේක. 18එවිට සාවුල් දොරටුවේදී සාමුවෙල් ළඟට ඇවිත්: දිවස් ඇත්තාගේ ගෙය තිබෙන්නේ කොතනද කියා මට දැන්නුවමැනවැයි කීවේය. 19සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින්: දිවස් ඇත්තා මමය; මට පෙරටුව උස් තැනට යන්න, මක්නිසාද නුඹලා අද මා සමඟ කෑම කන්ට ඕනෑය. හෙට උදේ නුඹ යන්ට හරින්නෙමි, නුඹේ සිතේ තිබෙන සියල්ලද නුඹට දන්වන්නෙමි. 20තුන් දවසකට පළමුවෙන් නැතිවූ නුඹේ කොටළුවන්ගේ කාරණය සිතට නොගන්න; උන් සම්බවුණාය. ඉශ්‍රායෙල්හි ආශාවිය යුතු සියල්ල කා උදෙසාද? නුඹ උදෙසාත් නුඹේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේදැයි කීවේය. 21සාවුල් උත්තර දෙමින්: මම ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය. 22තවද සාමුවෙල් සාවුල් හා ඔහුගේ වැඩකාරයත් කැඳවාගෙන ආගන්තුක ශාලාවට ඇතුල්වී, ගණනින් තිහක් පමණ වූ කැඳවනලද මනුෂ්‍යයින් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන් හින්දෙවුවේය. 23සාමුවෙල් අරක්කැමියාට කථාකොට: නුඹ ළඟ තබාගන්ට කියා මා නුඹට දුන්නාවූ කොටස මෙහි ගෙනෙන්නැයි කීවේය. 24අරක්කැමියා ගාතයද ඊ පිට තිබුණු දේද ගෙනැවිත් සාවුල් ඉදිරිපිට තැබුවේය. සාමුවෙල්ද: මෙන්න නුඹ උදෙසා තැබූ ඒවා! මේවා නුඹ ඉදිරිපිට තබාගෙන කන්න; මක්නිසාද මා විසින් සෙනඟ කැඳෙවුවායයි කී වේලාවට මේවා නුඹ උදෙසා වෙන්කොට තබන ලද්දේයයි කීවේය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ කෑයේය. 25ඔවුන් උස්තැනින් නුවරට බැස ආ කල සාමුවෙල් සාවුල් සමඟ පියස්ස උඩදී කථාකෙළේය. 26ඔව්හු අලුයම නැගුටුණෝය. තවද පහන්වෙන වේලාව පමණේදී සාමුවෙල් සාවුල්ට පියස්ස උඩට අඬගසා: මා විසින් නුඹ පිටත්කරන පිණිස නැගිටින්නැයි කීවේය. සාවුල් නැගිට්ටේය, ඔවුන් දෙදෙනා එනම් ඔහු සහ සාමුවෙල් පිටතට ගියෝය. 27ඔවුන් බැස යන කල නුවර කෙළවරදී සාමුවෙල් සාවුල්ට කථාකොට: අපට පෙරටුව යන්ට නුඹේ වැඩකාරයාට කියා, මා විසින් නුඹට දෙවියන්වහන්සේගේ වචනය දන්වන පිණිස නුඹ දැන් නවතින්නැයි කීවේය. වැඩකාරයා ඉස්සරව ගියේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy