YouVersion Logo
Search Icon

1 රාජාවලිය 7

7
දේවමාලිගාව ඇතුළුව රාජ මන්දිරයක් සෑදීම
1සාලමොන් තමාගේම ගෘහය දහතුන් අවුරුද්දකින් ගොඩනැගුවේය, තමාගේ මුළු ගෘහයද අවසානකෙළේය. 2ඔහු ලෙබනොන් වනය නම් ගෘහය ගොඩනැගීය; කිහිරි කණු පේළි සතරක්ද ඒ කණු පිට කිහිරි දැවද ඇතුව එය සාදන ලද්දේය. එහි දිග රියන් සියයක්ය, පළල රියන් පනහක්ය, උස රියන් තිහක්ය. 3කණු පිට පේළියට පසළොසක් බැගින් පිහිටුවා තිබුණ කාමර සතළිස් පහ කිහිරි ලීවලින් උඩින් වසා තිබුණේය, 4ජනේල තට්ටු තුනක් තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය. 5සියලු දොරකඩවල්ද උළුවහුද ජනේලවලට කෙළින් සතරැස්ව තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය. 6ඔහු රියන් පනහක් දිගද රියන් තිහක් පළලද ඇති කුළුනු ශාලාවත් සෑදුවේය; ඒවා ඉදිරිපිට කුළුනුද පඩි පෙළක්ද ඇති තවත් ශාලාවකුත් ඒවා ඉදිරිපිට සෑදුවේය. 7ඔහු විනිශ්චයකරන පිණිස සිංහාසනයේ ශාලාව වන අධිකරණ ශාලාවත් සෑදුවේය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලීවලින් වසන ලද්දේය. 8ඔහුට වාසයකිරීමට ශාලාවට එහා පැත්තෙන් අනික් මිදුලේ තිබුණ ඔහුගේ ගෘහය ඊට සමානව සාදන ලද්දේය. ඒ ශාලාවට සමානවූ ගෙයක් සාලමොන් තමා භාර්යාකොට පාවාගත් ඵාරාවෝගේ දුවටත් සෑදුවේය. 9මේ සියල්ලම කියතෙන් ඉරා කැපූ ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුත් පිටිනුත් අත්තිවාරමේ පටන් පේකඩය දක්වාද පිටත සිට මහ මිදුල දක්වාද අනර්ඝ ගල්වලින් විය. 10අත්තිවාරමද මහත්වූ අනර්ඝවූ ගල්වලින් එනම් දස රියන්වූ ගල්වලින්ද අට රියන්වූ ගල්වලින්ද දමා තිබුණේය. 11ඊ පිට කැපූ ගල්වල මිමිවල හැටියට අනර්ඝවූ ගල්ද කිහිරි ලීද තිබුණේය. 12වටකර තිබුණ මහ මිදුල කැපූ ගල් පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සාදන ලද්දේය; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුළු මිදුලත් ගෘහයේ ශාලාවත් එසේමය.
13සාලමොන් රජ තීර්හි සිට හීරාම් ගෙන්වා ගත්තේය. 14ඔහු නප්තලී ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක්ය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්වූ ලෝකුරුවෙක්ය; ඔහු සියලු ආකාර පිත්තල වැඩකිරීමට ප්‍රඥාවෙන්ද තේරුමෙන්ද දැනගැන්මෙන්ද පූර්ණව සිටියේය. ඔහු සාලමොන් රජු ළඟට ඇවිත් ඔහුගේ සියලු වැඩ කෙළේය. 15ඔහු පිත්තල කුළුනු දෙක සෑදුවේය. එක එක කුළුනේ උස දහ අට රියනක්ය, එක එක කුළුනේ වට ප්‍රමාණය දොළොස් රියනක්ය. 16කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය. 17කුළුනු මුදුන්පිට තිබුණු පේකඩවලට දැල් වැඩද දම්වැල් මාලා වැඩද තිබුණේය; එක පේකඩයට සතක්ද අනික් පේකඩයට සතක්ද තිබුණේය. 18කුළුනු මුදුන් පිට තිබුණ පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටකරින්ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේය. 19ශාලාවේ කුළුනු මුදුන් පිට තිබුණ පේකඩවල මානෙල් වැඩ සතර රියනක් සාදා තිබුණේය. 20කුළුනු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින් ඛන්ඩිය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබුණේය. 21ඔහු දේවමාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුනු පිහිටෙව්වේය. දකුණු කුළුන පිහිටුවා ඊට යාකීන් යන නමද වම් කුළුන පිහිටුවා ඊට බෝවස් යන නමද තැබුවේය. 22කුළුනු මුදුන්වල මානෙල් වැඩ තිබුණේය. මෙසේ කුළුනුවල වැඩ නිමකරනලද්දේය. 23ඔහු ජලාධාරයත් වාත්තුකර සෑදුවේය. ඒක ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දසයක්ය; ඒක වටකුරුව තිබුණේය. ඒකේ උස පස්රියනක් විය; ඒකේ වට ප්‍රමාණය තිස්රියනක් විය. 24ඒකේ ගැටියට යටින් ඒක වටකර රියනකට කැකිරි දසයක් බැගින්, ඒක වාත්තුකරනවිට වාත්තුකළ දෙපේළියක කැකිරි ගෙඩි ජලාධාරය වටකරින්ම තිබුණේය. 25එය ගව රූප දොළොසක් පිට තබා තිබුණේය, තුනක් උතුරු දෙසටද තුනක් බස්නාහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. ජලාධාරය ඒවාට උඩින් ඒවා පිට තබා තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය. 26ඒකේ ඝනකම අල්ලක පළලය; ඒකේ ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේය. එහි බාත් දෙදාහක් ඇල්ලුවේය. 27ඔහු අඩි දසයක් පිත්තලෙන් සෑදුවේය; එක එක අඩියේ දිග සතර රියනක්ය, පළල සතර රියනක්ය, උස තුන් රියනක්ය. 28අඩිවල වැඩ මෙසේය: ඒවා පනේල ආකාරව තිබුණේය; පනේල සන්ධිවලට අතරේ තිබුණේය. 29එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූපද ගව රූපද කෙරුබ් රූපද වූහ; සන්ධි පිටත් ඉහළ පැත්ත එසේම තිබුණේය. සිංහයන්ටත් ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබුණේය. 30එක එක අඩියට පිත්තල රෝද සතරක්ද පිත්තල අලවංගුද තිබුණේය. ඒකේ අඩි සතරට ආධාරවල් තිබුණේය. සෝදන භාජනය යට එක එක පැත්තේ මාලා ඇත්තාවූ වාත්තු කළ ආධාරවල්ද විය. 31පේකඩය ඇතුළෙත් ඉහලත් ඒකේ කට හරහා රියනක් විය. කුළුනු අඩියක වැඩ ඇතුව ඒකේ කට වටකුරුව රියන් එකහමාරක් උසව තිබුණේය. ඒකේ කට පිට කැටයම් වැඩ තිබුණේය, නුමුත් ඒවායේ පනේල වටකුරුව නොව සතරැස්ව තිබුණේය. 32රෝද සතර පනේලවලට යටින් තිබුණේය; රෝදවල අලවංගු අඩිවලට අල්ලා තිබුණේය. එක එක රෝදයේ උස රියන් එකහමාරක්ය. 33රෝදවල වැඩ රථ රෝදයක වැඩයට සමානය. ඒවායේ අලවංගුද වක්අතුද දත්ද බොස්ගෙඩිද සියල්ලම වාත්තුකරන ලද්දේය. 34එක එක අඩියේ කොන් සතරට අඩිය එක්කම සාදාපු ආධාර සතරක් විය. 35අඩියේ මුදුන රියන් භාගයක් උසට වටකුරුකර තිබුණේය. අඩියේ මුදුනෙහි තිබුණ ඒකේ අත්ද පනේලද එය එක්කම සාදා තිබුණේය. 36ඔහු ඒකේ අත්වල ලෑලිවලද ඒකේ පනේලවලද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූපද සිංහ රූපද තල් ගස්ද කැටයම්කළේය; වටේට මාලාද තිබුණේය. 37මේ අන්දමට ඔහු අඩි දසය සෑදුවේය. ඒ සියල්ලට තිබුණේ එක වාත්තුවත් එක මිම්මත් එක හැඩයත්ය. 38තවද සේදීම පිණිස පිත්තල භාජන දශයක් ඔහු සෑදුවේය. එක එක භාජනයේ බාත් සතළිසක් ඇල්ලුවේය. එක එක භාජනය රියන් හතරක් පළලය. අඩි දසයෙන් එක එක අඩිය පිට භාජනයත් තිබුණේය. 39ඔහු අඩි පහක් ගෘහයට දකුණු පැත්තෙන්ද පහක් ගෘහයට වම් පැත්තෙන්ද තැබුවේය. ජලාධාරය වනාහි ඔහු ගෘහයට දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරේ තැබුවේය. 40තවද හීරාම් සෝදන භාජනද හැඳිද තාලිද සෑදීය. මෙසේ හීරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට කළ සියලු වැඩ නිමකෙළේය. 41එනම් කුළුනු දෙකක්ද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙකද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද, 42කුළුනු පිට තිබුණ පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද; 43අඩි දසයද අඩි පිට තිබුණ භාජන දසයද; 44ඒ එක ජලාධාරයද ජලාධාරය යට තිබුණ ගවයන් දොළසද; 45හැළිද හැඳිද තාලිද යන මේවාය. හීරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ මේ සියලු බඩු ඔපදැමූ පිත්තලෙන් විය. 46රජ යොර්දාන් සමභූමියෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තුකෙරෙව්වේය. 47ඒ සියලු බඩු ඉතා මහත් ගණනක්ව තිබුණ බැවින් සාලමොන් ඒවා නොකිරා හැරියේය. පිත්තලවල බරද දැනගත්තේ නැත. 48සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද, 49දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙත් වම් පැත්තෙත් පහක් බැගින් තැබීමට අනර්ඝ රනින් පහන්රුක්ද මල්ද පහන්ද අඬුද, 50අනර්ඝ රනින් තලිද පහන් කතුරුද තාලිද පාත්‍රාද ගිනි භාජනද රනින් ඇතුල් ගෘහය වන අති ශුද්ධස්ථානයේ දොරවලටත් ගෘහය වන මාලිගාවේ දොරවලටත් රන් අසව්-විලිද සෑදෙව්වේය. 51මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකළදේ එනම් රිදීද රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy