YouVersion Logo
Search Icon

1 රාජාවලිය 6

6
දේවමාලිගාව සෑදීම
1තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු හාරසිය අසූවෙනි අවුරුද්දේ එනම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සාලමොන්ගේ රජකම් කිරීමේ සතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයවූ ශීව් මාසයේදී ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය. 2සාලමොන් රජ ස්වාමීන්වහන්සේට ගොඩනැගූ ගෘහයේ දිග රියන් සැටක්ය, පළල රියන් විස්සක්ය, උස රියන් තිහක්ය. 3ගෘහයේ මාලිගාව ඉස්සරහ තිබුණු ශාලාවේ දිග ගෘහයේ පළල හැටියටම රියන් විස්සක්ව, එහි පළල ගෘහය ඉස්සරහ රියන් දසයක්ව තිබුණේය. 4ගරාදි සවිකරනලද කවුළු ඔහු ගෘහයට සෑදුවේය. 5ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ භිත්ති වටේට ගෘහයේ භිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය. 6පහතම මහළේ පළල පස් රියනක්ය, මැද එකේ පළල සරියනක්ය, තුන්වෙනි ඒකේ පළල සත්රියනක්ය. මක්නිසාද ගෘහයේ භිත්තිවලට බාල්ක ඇතුල් නොකරන පිණිස පිටින් වටේටම ගෘහයේ භිත්තිවල තැනින්තැන පටුකර සෑදුවේය. 7ගල්වළේදී තීන්දුවට සූදානම්කළ ගල්වලින් ගෘහය ගොඩනැගූ බැවින් ගෘහය ගොඩනැගීමේදී මිටියකවත් පොරවකවත් වෙන කිසි යකඩ ආවුදයකවත් ශබ්දයක් නොඇසුණේය. 8මැද කාමරවලට දොර ගෘහයේ දකුණු පැත්තෙහි විය. වටවූ පඩිපෙළකින් මැද මහලටත් මැද මහලෙන් තුන්වෙනි මහලටත් නගින්ට සාදා තිබුණේය. 9මෙසේ ඔහු ගෘහය තනා නිමකෙළේය; ඔහු ගෘහය කිහිරි දැවවලින්ද ලෑලිවලින්ද වැසුවේය. 10ඔහු මුළු ගෘහයට යාකර පස්රියනක් බැගින් උස ඇති මහල් ගොඩනැගුවේය. ඒවා කිහිරි ලීවලින් ගෘහයට සවිකරනලද්දේය.
11 ස්වාමීන්වහන්සේගේ වචනය සාලමොන්ට පැමිණ කියනුයේ: 12නුඹ ගොඩනගන මේ ගෘහය ගැන වනාහි, නුඹ මාගේ පනත්වල හැසිර මාගේ විනිශ්චයවල් ඉෂ්ටකර මාගේ සියලු ආඥා පවත්වමින් ඒ ප්‍රකාර හැසිරෙන්නෙහිනම්, නුඹේ පියවූ දාවිත්ට මා විසින් කී මාගේ වචනය නුඹට ඉෂ්ටකරන්නෙමි. 13තවද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අත්නෑර, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරන්නෙමියි කීසේක.
14මෙසේ සාලමොන් ගෘහය ගොඩනගා නිමකෙළේය. 15ඇතුළතින් ඔහු ගෘහයේ භිත්තිවල කිහිරි ලෑලි ඇල්ලුවේය; ගෘහයේ බිම පටන් පියස්සේ පැති දක්වා ඇතුළතින් ලීවලින් වැසුවේය. ගෘහයේ බිම දේවදාර ලෑලිවලින් වැසුවේය. 16ඔහු ගෘහයේ ඉතා ඇතුල් කොට්ඨාසයෙන් රියන් විස්සක් දිගට බිමෙහි සහ භිත්තිවලත් කිහිරි ලෑලි ඇල්ලුවේය. ඇතුළතින් ඔහු ඒක දිව්‍ය-වාක්‍යස්ථානයක් වන අති ශුද්ධස්ථානය කොට සෑදුවේය. 17ඊට ඉදිරිපිටවූ ගෘහය එනම් මාලිගාව සතළිස් රියනක් දිගය. 18ගෘහයේ ඇතුළත කැකිරි වැල්ද පිපුණු මල්ද කැටයම්කළ කිහිරි ලීවලින් වසා තිබුණේය. මුළුල්ලම කිහිරි ලීය; කිසි ගලක් පෙනෙන්ට නොතිබුණේය. 19ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තැබීමට ඇතුළතින් ගෘහය තුළ දිව්‍ය-වාක්‍යස්ථානයක් පිළියෙළකෙළේය. 20ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය. 21මෙසේ සාලමොන් ගෘහයේ ඇතුළත අනර්ඝ රනින් වසා, රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒක රනින් වැසුවේය. 22මුළු ගෘහය වසා තීන්දුවනතෙක් ඔහු ඒක මුළුල්ලම රනින් වැසුවේය. දිව්‍ය-වාක්‍යස්ථානයට අයිති පූජාසනය මුළුල්ලත් රනින් වැසුවේය. 23ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ වල් ඔලීව ලීවලින් දස රියන බැගින් උස ඇති කෙරුබ් රූප දෙකක් සාදා තැබුවේය. 24එක කෙරුබ් රූපයක එක පියාපතක් පස් රියනක්ය, කෙරුබ් රූපයේ අනික් පියාපත පස් රියනක්ය. එක පියාපතක කෙළවර පටන් අනික් පියාපතේ කෙළවර දක්වා දස රියනක්ය. 25අනික් කෙරුබ් රූපයත් දස රියනක්ය. කෙරුබ් රූප දෙකම එක මිම්මටද එක හැඩේටද වූහ. 26එක කෙරුබ් රූපයක උස දස රියනක්ය, අනික් කෙරුබ් රූපයත් එසේමය. 27ඔහු ඒ කෙරුබ් රූප ඇතුල් ගෘහය තුළ පිහිටෙවුවේය. එක කෙරුබ් රූපයක පියාපතක් එක භිත්තියට වදින හැටියටත් අනික් කෙරුබ් රූපයේ පියාපතක් අනික් භිත්තියට වදින හැටියටත් ඒවායේ පියාපත් ගෘහය මධ්‍යයෙහි එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබනලද්දේය. 28ඔහු කෙරුබ් රූප රනින් වැසුවේය. 29වටකර ඇතුළෙනුත් පිටිනුත් ගෘහයේ සියලු භිත්තිවල ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කොටා කැටයම් වැඩ කෙළේය. 30ඔහු ගෘහයේ බිම ඇතුළෙනුත් පිටිනුත් රනින් වැසුවේය. 31දිව්‍ය-වාක්‍යස්ථානයේ දොරකඩට වල් ඔලීව ලීවලින් දොරවල් සෑදුවේය. උඩ පඩිකඳ ද උළුවහු කණුද භිත්තියෙන් පහෙන් කොටසක් විය. 32වල් ඔලීව ලීවලින් සෑදූ ඒ දොර දෙකේ ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කැටයම්කර, රනින් වසා, කෙරුබ් හා තල් ගස් පිටත් රත්රන් ගෑවේය. 33එසේම මාලිගාවේ දොරකඩටත් වල් ඔලීව ලී වලින් උළුවහු කණුද දේවදාර ලීවලින් දොරවල් දෙකක්ද සෑදුවේය; 34ඊට භිත්තියෙන් සතරෙන් කොටසක් ගියේය. එක දොරකට අකුළන පියන් දෙකක්ද අනික් දොරට අකුළන පියන් දෙකක්ද විය. 35ඔහු ඒවායේ කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කපා ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේය. 36ඇතුළු මිදුල කැපූ ගල්පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සෑදුවේය. 37සතරවෙනි අවුරුද්දේ ශීව් මාසයේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම තබනලද්දේය. 38එකොළොස්වෙනි අවුරුද්දේ අටවෙනි මාසය වන බූල් මාසයේදී ගෘහය එහි සියලු කොට්ඨාස ඇතුළුව එහි නියම මුළු විධියට නිම කරනලද්දේය. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය ගොඩනැගීමේ යෙදී සිටියේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy