YouVersion Logo
Search Icon

1 රාජාවලිය 14

14
යෙරොබොවම්ට තරවටුකිරීම. ඔහුගේ මරණය
1ඒ කාලයෙහි යෙරොබොවම්ගේ පුත්‍රවූ අබියා ලෙඩ වුණේය. 2යෙරොබොවම් තමාගේ භාර්යාවට කථාකොට: නුඹ යෙරොබොවම්ගේ භාර්යාව බව නොදැනෙන හැටියට වෙස්වලා පිටත්වී ෂීලෝට යන්න; මා මේ සෙනඟ කෙරෙහි රජ වන්නේයයි මා ගැන කීවාවූ අහියා අනාගතවක්තෘ එහි සිටියි. 3නුඹේ අතින් රොටි දසයක්ද බැදපු කැවුම්ද මීපැණි භාජනයක්ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට මක්වේද කියා ඔහු නුඹට දන්වනවා ඇතැයි කීවේය. 4යෙරොබොවම්ගේ භාර්යාව එසේ කොට පිටත්වී ෂීලෝට ගොස් අහියාගේ ගෙදරට පැමිණියාය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය. 5නුමුත් ස්වාමීන්වහන්සේ අහියාට කථාකොට: බලව, යෙරොබොවම්ගේ භාර්යාව ලෙඩින් ඉන්න ඇගේ පුත්‍රයා ගැන නුඹෙන් විචාරන්ට එන්නීය. ඈට මේ මේ ආකාර කථාකරන්න. ඈ එන විට අන් තැනැත්තියක් මෙන් පෙන්වනවා ඇතැයි කීසේක. 6දොරකඩින් ඇතුල්වෙන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණ විට ඔහු කථාකොට: යෙරොබොවම්ගේ භාර්යාව, ඇතුළට එන්න; නුඹ අන් තැනැත්තියක් මෙන් පෙන්වන්නේ කුමටද? දුක්ඛිත ආරංචි දන්වන්ට නුඹ වෙතට එවනු ලැබීමි. 7ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි නුඹ ගොස් යෙරොබොවම්ට කියන්න–මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කර, 8දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය උදුරා නුඹට දුනිමි. නුමුත් නුඹ වනාහි මාගේ ආඥා පැවත්තුවාවූ, මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේවල් පමණක් කරමින් තමාගේ මුළු සිතින් මා අනුව ආවාවූ මාගේ මෙහෙකරුවූ දාවිත් මෙන් නොසිට, 9නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝපකරන හැටියට අන් දෙවිවරුන්ද වාත්තු පිළිමද සාදාගන මට පිටිපෑ බැවින්, 10මම යෙරොබොවම්ගේ වංශය පිටට විපත්ති පමුණුවා, යෙරොබොවම්ගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳ දමා, නිමාවටම කුණු පිසදමන්නාක් මෙන් යෙරොබොවම්ගේ වංශය සහමුලින්ම පිසදමන්නෙමි. 11නුවරදී මැරෙන යෙරොබොවම්ට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන කෙනෙකු ආකාශයේ පක්ෂීහු කන්නෝය. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ එය කීසේක. 12එබැවින් නුඹ පිටත්ව නුඹේ ගෙදරට යන්න. නුඹේ පාද නුවර ඇතුලේ තබනකොටම ළමයා මැරෙනවා ඇත. 13සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු තැන්පත්කරන්නෝය; මක්නිසාද යෙරොබොවම්ගේ වංශය අතරෙන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි යහපත්වූ යමක් ඔහු තුළ ඇති බැවින් යෙරොබොවම්ගේ වංශයෙන් ඔහු පමණක් සොහොනකට පැමිණෙන්නේය. 14ඇරත් ඒ දවසේදී යෙරොබොවම්ගේ වංශය සිඳ දැමීමට ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජෙක් නැගුටුවා ගන්නවා ඇත. මේ දැන්ම වුවත් මොකද? 15තවද ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ අෂේරා කණු සාදාගන ස්වාමීන්වහන්සේ කෝපකළ බැවින්, බටගහ වතුරේ සෙලවෙන්නාක් මෙන් සෙලවෙන්ට ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදී, උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ හොඳ දේශයෙන් ඔවුන් උදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමනවා ඇත. 16යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය. 17යෙරොබොවම්ගේ භාර්යාව පිටත්ව ගොස් තිර්ශාට පැමිණියාය. ඈ ගෙයි එළිපත්ත ළඟට ආ විට ළමයා මළේය. 18සියලු ඉශ්‍රායෙල්වරු ස්වාමීන්වහන්සේ තමන් මෙහෙකරුවූ අහියා අනාගතවක්තෘ ලවා කියෙවු වචනයේ හැටියට ඔහු තැන්පත්කොට ඔහු ගැන වැලපුණෝය. 19යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ. 20යෙරොබොවම් රජකම්කළ කාලය විසි දෑවුරුද්දක්ය. ඔහු තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහුගේ පුත්‍රවූ නාදාබ් ඔහු වෙනුවට රජ වුණේය.
යූදාවරුන් පව්කිරීම. රෙහොබොවම්ගේ මරණය
21සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් යූදාහි රජකම් කෙළේය. රෙහොබොවම් රජ වෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ දහහත් අවුරුද්දක් රජකම් කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. 22යූදාවරුද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමුන් කළ පාපවලින් තමුන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන්වහන්සේ කෝපකළෝය. 23ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය; 24සොදාමියයෝද#14:24 එනම්, සමලිංගික සේවනයේ යෙදුනාවූ අය. දේශයෙහි සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ප්‍රකාරයට කළෝය. 25තවද රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත්, 26ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය. 27රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය. 28රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා උසුලාගන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය. 29රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද? 30රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය. 31රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරනු ලැබුවේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. ඔහුගේ පුත්‍රවූ අබියාම් ඔහු වෙනුවට රජවුණේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy