YouVersion Logo
Search Icon

1 කොරින්ති 15:29-58

1 කොරින්ති 15:29-58 SROV

ඇරත් මළවුන් උදෙසා බව්තීස්මකරනු ලැබූ අය කුමක් කරන්නෝද? මළාහු කිසිසේත් නැගුටුවනු නොලබන්නෝ නම්, කුමක්හෙයින් ඔවුන් උදෙසා බව්තීස්මකරනු ලබන්නෝද? අපිත් කුමක්හෙයින් සෑම වේලේම අන්තරායෙහි සිටිමුද? සහෝදරයෙනි, මම දවස්පතා නසිමියි අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලා ගැන මට ඇත්තාවූ පාරට්ටුව පිට කියමි. මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු. නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය. ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි. නුමුත්: මළවුන් නැගිටින්නේ කෙසේද? ඔව්හු කොයි ප්‍රකාර ශරීරයක් ඇතුව එද්දැයි යමෙක් අසනවා ඇත. අඥානය, නුඹම වපුරන දේ මළොත් මිස නැත්නම් පැළවෙන්නේ නැත. නුඹ වපුරන කල වපුරන්නෙක් මතු අටගන්න කඳ නොව තිරිඟු හෝ වෙන වර්ගයක බීජයක් හෝ පමණය; නුමුත් දෙවියන්වහන්සේ තමන් කැමතිවූ හැටියට ඊට කඳක්ද එක එක බීජයට නියමවූ කඳක්ද දෙනසේක. සියලු මාංස එකාකාර මාංස නොවේ. මනුෂ්‍යයන්ගේ මාංසය එක් ආකාරයක, මෘගයන්ගේ මාංසය වෙන ආකාරයක, පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයක, මසුන්ගේ මාංසය වෙනත් ආකාරයක. ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ. නුමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය, භූමිකයන්ගේ තේජස අනිකක්ය. සූර්යයාගේ තේජස එකක්ය, චන්ද්‍රයාගේ තේජස අනිකක්ය, තාරකාවන්ගේ තේජස තවත් එකක්ය; මක්නිසාද තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය. මළවුන්ගෙන් නැගිටීමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගුටුවනු ලැබේ. අගෞරවයෙන් යුක්තව වපුරනු ලැබේ; තේජසින් යුක්තව නැගුටුවනු ලැබේ; දුර්වලකමෙන් යුක්තව වපුරනු ලැබේ; බලයෙන් යුක්තව නැගුටුවනු ලැබේ. ස්වාභාවික ශරීරයක්ව වපුරනු ලැබේ; ආත්මික ශරීරයක්ව නැගුටුවනු ලැබේ. ස්වභාවික ශරීරයක් තිබේ නම් ආත්මික ශරීරයක්ද තිබේ. එසේම: පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය. එසේවී නුමුත් ප්‍රථමවන්නේ ආත්මික එක නොව ස්වාභාවික එකය; පසුව ආත්මික එක විය. පළමුවෙනි මනුෂ්‍යයා භූමියෙන්ය, භූමිකය. දෙවෙනි මනුෂ්‍යයා ස්වර්ගයෙන්ය. භූමික තැනැත්තා යම්සේද භූමිකයොත් එසේමය. ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගීකයොත් එසේමය. අපි භූමිකවූ තැනැත්තාගේ රූපය දැරුවා සේම ස්වර්ගීක තැනැත්තාගේ රූපයද දරන්නෙමුව. ඉතින්, සහෝදරයෙනි, මාංසයට හා රුධිරයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්ට බැරි බවත් දිරන ස්වභාවට නොදිරන ස්වභාව උරුමකරගන්ට බැරි බවත් කියමි. මෙන්න, නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නුමුත් අන්තිම හොරණෑව පිඹින කල මොහොතකින්, ඇසිපිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව, මක්නිසාද දිරන සුලුවූ මේක නොදිරන බවට පැමිණෙන්ට ඕනෑය, මරණීයවූ මේක අමරණීයභාවයට පැමිණෙන්ට ඕනෑය. දිරන සුලුවූ මේක නොදිරන භාවයටත් මරණීයවූ මේක අමරණීයභාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනාලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණවේ. එම්බා මරණය, නුඹේ ජය කොයිද? එම්බා මරණය, නුඹේ කටුව කොයිද? මරණයේ කටුව නම් පාපයය; පාපයේ බලය නම් ව්‍යවස්ථාවය. නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා. එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy