YouVersion Logo
Search Icon

1 කොරින්ති 14:21-40

1 කොරින්ති 14:21-40 SROV

අන් භාෂාවලිනුත් අන්‍යයන්ගේ තොල්වලිනුත් මම මේ සෙනඟට කථාකරන්නෙමි; එසේවුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ව්‍යවස්ථාවෙහි ලියා තිබේ. මෙසේ අන් භාෂා වනාහි අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. නුමුත් ධර්මවාක්‍ය කීම තිබෙන්නේ නොඅදහන්නන් නොව අදහන්නන් උදෙසාය. එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් නුඹලාට ඔල්මාදයයි කියන්නේ නැද්ද? නුමුත් සියල්ලෝ ධර්මවාක්‍ය කියත් නම්, නොඅදහන්නෙක් හෝ නූගත් කෙනෙක් හෝ පැමිණි කල, සියල්ලන් විසින් ඔහුගේ වරද හඟවාදී, සියල්ලන් විසින් ඔහු විනිශ්චය කරනු ලබන්නේය; ඔහුගේ සිතේ රහස් එළිදරව්වන්නේය; මෙසේ ඔහු සැබවින් දෙවියන්වහන්සේ නුඹලා අතරෙහියයි ප්‍රකාශකරමින්, මුහුණින් වැටී දෙවියන්වහන්සේට නමස්කාරකරන්නේය. එසේවී නම්, සහෝදරයෙනි, කිමෙක්ද? නුඹලා රැස්වන කල එක් එක්කෙනාට ගීතිකාවක්ද ගුරුකමක්ද එළිදරව්කිරීමක්ද අන් භාෂාවක්ද තේරුම්කරදීමක්ද ඇත්තේය. සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා. යමෙක් අන් භාෂාවකින් කථාකෙරේ නම්, දෙදෙනෙක් නොහොත් වැඩි වුණොත් තුන්දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා; එක්කෙනෙක් තේරුම්කරදේවා. තේරුම් කරදෙන කෙනෙක් නැත්නම්, ඔහු සභාවේදී නිශ්ශබ්දවේවා; තමාටත් දෙවියන්වහන්සේටත් කථාකෙරේවා. ධර්මවාක්‍ය කියන්නෝ දෙදෙනෙක් නොහොත් තුන්දෙනෙක් කථාකරත්වා, අනික් අය විමසාබලත්වා. නුමුත් එහි හිඳින අනිකෙකුට එළිදරව්කිරීමක් පැමුණුණොත්, පළමුවෙනි තැනැත්තේ නිශ්ශබ්දවේවා. මක්නිසාද සියල්ලන් ඉගෙනගන්නා පිණිසත්, සියල්ලන් ධෛර්යවෙන පිණිසත්, සියල්ලන්ට එක්කෙනෙකු බැගින් ධර්මවාක්‍ය කියන්ට පුළුවන; ධර්මවාක්‍ය කියන්නන්ගේ ආත්ම ධර්මවාක්‍ය කියන්නන්ට යටත්ව තිබේ. මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය. ස්ත්‍රීහු සභාවලදී නිශ්ශබ්දව සිටිත්වා. මක්නිසාද කථාකරන්ට ඔවුන්ට අවසර නැත; ව්‍යවස්ථාවෙන් කියා තිබෙන ලෙස ඔව්හු යටත්ව සිටිත්වා. ඔව්හු යමක් දැනගන්ට කැමති නම්, ගෙදරදී තමුන්ගේම පුරුෂයන්ගෙන් විචාරත්වා. මක්නිසාද සභාවේදී කථාකිරීම ස්ත්‍රියකට ලජ්ජාවක්ය. මොකද? දෙවියන්වහන්සේගේ වචනය නික්මගියේ නුඹලා කෙරෙන්ද? නොහොත් ඒක පැමුණුණේ නුඹලා වෙතට පමණක්ද? යමෙක් තමාම ධර්මවාක්‍ය පවසන්නෙක්ය කියා නොහොත් ආත්මික කෙනෙක්ය කියා සිතනවා නම්, මා විසින් නුඹලාට ලියන කාරණා ස්වාමීන්වහන්සේගේ ආඥාව බව ඔහු ඒත්තුගනීවා. යමෙක් එය නොදන්නවා නම්, ඔහු නොදැන සිටීවා. එබැවින්, මාගේ සහෝදරයෙනි, ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න, අන් භාෂාවලින් කථාකිරීමත් තහනම් නොකරන්න. නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy