YouVersion Logo
Search Icon

1 කොරින්ති 1

1
ආචාරකිරීම සහ ස්තූති දීම
1දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටීමට කැඳවනු ලැබුවාවූ පාවුල් සහ අපේ සහෝදරවූ සොස්තෙනස් විසින්, 2ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි පිරිසිදුකරනලද්දාවූ, ශුද්ධවන්තව සිටීමට කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ඔවුන්ගෙත් අපගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාච්ඤාකරන්නාවූ සියල්ලන්ටද ලියා එවන වගනම්: 3අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා.
4ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිසා මම නුඹලා ගැන මාගේ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරමි. 5මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය නුඹලා තුළ ස්ථිරවූ ලෙසම, 6නුඹලා සියලු කථාවෙහිද සියලු දැනගැනීමෙහිද උන්වහන්සේ තුළ පොහොසත් කරනලද්දහුය. 7මෙසේ නුඹලා කිසි දීමනාවකින් අඩු නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහුය. 8අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථිර කරනසේක. 9ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකමට නුඹලා කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක.
සභාවේ ඇතිවූ පක්ෂභජනය
10ඉතින්, සහෝදරයෙනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, නුඹලා අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි. 11මක්නිසාද මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙහි විවාද තිබෙන බව ක්ලොයිගේ පවුලේ අය මට දැන්නුවෝය. 12ඉඳින් මාගේ තේරුම නම්, නුඹලා එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය. 13ක්‍රිස්තුස්වහන්සේ බෙදී සිටිනසේක්ද? පාවුල් නුඹලා උදෙසා කුරුසියෙහි ඇණගසනු ලැබුවේද? නොහොත් පාවුල්ගේ නාමයට නුඹලා බව්තීස්මකරනු ලැබුවහුද? 14මාගේ නාමයට නුඹලා බව්තීස්ම කරනලදැයි කියන්ට කිසිවෙකුට පුළුවන් නොවන ලෙස ක්‍රිස්පස්ද ගායස්ද ඇර 15නුඹලාගෙන් වෙන කිසිවෙකු මා විසින් බව්තීස්ම නොකළ බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි. 16ස්තේපනස්ගේ ගෙයි වැසියන්ද බව්තීස්ම කෙළෙමි. ඒ ඇර මම වෙන කිසිවෙකු බව්තීස්මකෙළෙම්දැයි නොදනිමි. 17මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා යැවුවේ බව්තීස්මකරන්ට නොව ශුභාරංචිය දේශනාකරන්ටය. නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය නිෂ්ඵල නොවන පිණිස, වචනවල ඥානවන්තකමින් (දේශනාකරන්ට) නොවේය.
කුරුසියේ බලය
18මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය. 19ඒ හැටියට:
මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි, බුද්ධිමත් අයගේ බුද්ධිය පහකරන්නෙමියි
ලියා තිබේ. 20ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද? 21මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූසේක. 22කෙසේදයත්, යුදෙව්වරු ලකුණු ඉල්ලති, ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. 23නුමුත් අපි කුරුසියෙහි ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමය; 24නුමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන්වහන්සේගේ බලය සහ දෙවියන්වහන්සේගේ ප්‍රඥාවත්ය. 25මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය.
26මක්නිසාද සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීම, එනම් මාංසය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත් බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලන්න. 27නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක; 28ඇත්තාවූ දේවල් නැති කරන පිණිස නැති දේවල් වැනි ලෝකයේ පහත් දේවල්ද සුළුකොට සිතනු ලබන දේවල්ද දෙවියන්වහන්සේ තෝරාගත්සේක. 29එසේ කළේ කොයි මනුෂ්‍යයෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටුකර නොගන්නා පිණිසය. 30නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක. 31එහෙයින්, ලියා තිබෙන ලෙස, ගරුකම් කියන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි ගරුකම් කියාවා.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy