YouVersion Logo
Search Icon

1 වංශාවලිය 26

26
දොරටුපාලයන්ගේ පංක්ති ආදිය
1දොරටුපාලයන්ගේ පංක්ති මෙසේය. කොරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙක් වන කෝරේගේ පුත්‍රවූ මෙෂෙලෙමියාය. 2මෙෂෙලෙමියාගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ශෙකරියාය, දෙවෙනියාවූ යෙදියායෙල්ය, තුන්වෙනියාවූ සෙබදියාය, හතරවෙනියාවූ යත්නියෙල්ය; 3පස්වෙනියාවූ ඒලාම්ය, හවෙනියාවූ යෙහෝහානාන්ය, හත්වෙනියාවූ එලියෙහෝයේනයිය. 4ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ වන කුලුඳුලාවූ ෂෙමායාය, දෙවෙනියාවූ යෙහෝසාබාද්ය, තුන්වෙනියාවූ යෝවාය, හතරවෙනියාවූ සාකාර්ය, පස්වෙනියාවූ නෙතනේල්ය; 5හවෙනියාවූ අම්මීයෙල්ය, හත්වෙනියාවූ ඉස්සාඛර්ය, අටවෙනියාවූ පෙයුල්ලෙතයිය. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක. 6ඔහුගේ පුත්‍රවූ ෂෙමායා නිසාත් පුත්‍රයෝ උපන්නෝය, ඔව්හු බලවන්ත මනුෂ්‍යයෝව සිටි නිසා තමුන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයෝව සිටියෝය. 7ෂෙමායාගේ පුත්‍රයෝ වන ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්සාබාද්ය; ඔහුගේ සහෝදරයෝ වන බලවන්ත මනුෂ්‍යයෝවූ එලීහු සහ සෙමාකියාය. 8මොවුන් සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝය. ඔව්හුද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද සේවයට බලවන්තව ශක්තිමත්ව සිටියෝය; මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝය. 9මෙෂෙලෙමියාට බලවන්තයන් වන පුත්‍රයන්ද සහෝදරයන්ද දහඅටදෙනෙක් වූවෝය. 10මෙරාරීගේ පුත්‍රයෙක්වූ හොසාගේ පුත්‍රයෝ වන ප්‍රධානියාවූ ෂිම්රීය. (ඔහු කුලුඳුලා නොවන නුමුත් ඔහුගේ පියා ඔහු ප්‍රධානකමට පත්කෙළේය.) 11දෙවෙනියාවූ හිල්කියාය, තුන්වෙනියාවූ ටෙබලියාය, සතරවෙනියාවූ ශෙකරියාය. හොසාගේ සියලු පුත්‍රයන් හා සහෝදරයන් දහතුන්දෙනෙක්ය. 12ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මෙහෙකරන පිණිස තමුන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියාවූ ප්‍රධාන මනුෂ්‍යයන්වූ ඔවුන්ට දොරටුපාලයන්ගේ පංක්ති වැටුණෝය. 13ඔව්හුද තමුන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන්ම කුඩා අයත් එක එක දොරටුව ගැන පසඇට දැමුවෝය. 14නැගෙනහිර පැත්තේ පසඇටය වැටුණේ ෂෙලෙමියාටය. ඉන්පසු ඔහුගේ පුත්‍රවූ ඥානවත් මන්ත්‍රියෙක්වූ ශෙකරියා ගැන පසඇට දැමුවෝය; ඔහුගේ පසඇටය වැටුණේ උතුරු පැත්තටය. 15ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්තය; ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරයය. 16බස්නාහිර පැත්තේ නගින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත් හොසාටත් වැටුණේය. ඔව්හු මාරුවෙන් මාරුවට සිටියෝය. 17නැගෙනහිරට සිටියේ ලෙවීවරු හදෙනෙක්ය, උතුරට දවසට හතරදෙනෙක්ය, දකුණට දවසට හතරදෙනෙක්ය, භාණ්ඩාගාරය ළඟ දෙදෙන දෙදෙනාය. 18බස්නාහිරට පර්බර් ළඟ මාවතේ හතරදෙනෙක්ය, පර්බර්හි දෙදෙනෙක්ය. 19කොරාගේ පුත්‍රයන්ගෙන්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන්ද තෝරාගත් දොරටුපාලයන්ගේ පංක්ති මේවාය.
20අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා සහ කැපකරපු දේවල ගබඩා කෙරෙහි පත්ව සිටියේය. 21ලාදාන්ගේ වංශයේ ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයෝ වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියෝව සිටි ගේර්ෂොන්වරුවූ ලාදාන්ගේ පුත්‍රයෝ නම්: 22යෙහියෙලී සහ යෙහියෙලීගේ පුත්‍රයෝවූ සේතාම් සහ ඔහුගේ සහෝදරවූ යෝවෙල්ය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩා කෙරෙහි පත්ව සිටියෝය. 23අම්රාම්වරුත් ඉෂ්හාර්වරුත් හෙබ්‍රොන්වරුත් උස්සීයෙල්වරුත් වූවෝය. 24මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත්‍රවූ ෂෙබූයෙල් ගබඩා කෙරෙහි ප්‍රධානියාව සිටියේය. 25එලියෙසෙර්ගෙන් පැවත ආවාවූ ඔහුගේ සහෝදරයොත් සිටියෝය. ඔහුගේ පුත්‍රයා රෙහබියාය, ඔහුගේ පුත්‍රයා යෙෂායාය, ඔහුගේ පුත්‍රයා යෝරාම්ය, ඔහුගේ පුත්‍රයා සික්රීය, ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත්ය. 26මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය. 27ඔව්හු යුද්ධවලදී ලබාගත් කොල්ලයෙන් කොටසක් ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියාකිරීම පිණිස කැපකළෝය. 28දර්ශනකාරයාවූ සාමුවෙල්ද කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද විසින් කැපකළ සියල්ලත් කා විසින් නුමුත් කැපකළ දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේය. 29ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියාද ඔහුගේ පුත්‍රයෝද පිටත කටයුතු ගැන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය. 30හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියාද ඔහුගේ සහෝදරයෝද යන බලවන්තයන් එක්දහස් හත්සියයක් බස්නාහිර දිසාවේ යොර්දානෙන් මෙගොඩ ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැනද රජුගේ වැඩ ගැනද ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි පත්ව සිටියෝය. 31හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් යෙරියාය. දාවිත්ගේ රජකම්කිරීමේ සතළිස්වෙනි අවුරුද්දේදී ඔවුන් ගැන විභාගකොට බලවන්ත මනුෂ්‍යයන් ගිලියද්-යාසෙර්හි ඔවුන් අතරේ සිටිනවා සම්බවුණේය. 32බලවන්තයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් හත්සියයක් වූහ; දාවිත් රජ ඔවුන් දෙවියන්වහන්සේගෙත් රජුගෙත් සියලු කාරණා ගැන රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කෙරෙහි මුලාදෑනීන් කොට පත්කෙළේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy