YouVersion Logo
Search Icon

1 වංශාවලිය 17

17
දේවමාලිගාවක් සෑදීමේ ආශාව
1තවද දාවිත් තමාගේ ගෙයි වසන කල්හි ප්‍රොපේත තැනවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසයකරමි, නුමුත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තිර ඇතුළෙහි වාසයකෙරේයයි කීවේය. 2නාතාන්ද: ඔබගේ සිතේ තිබෙන සියල්ල කළ මැනව; මක්නිසාද දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි දාවිත්ට කීය. 3තවද එම රාත්‍රියේ දෙවියන්වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ: 4නුඹ ගොස් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියව–මාගේ වාසය පිණිස නුඹ ගෘහයක් ගොඩනොනගන්නෙහිය. 5මක්නිසාද මම ඉශ්‍රායෙල්වරුන් ගෙනා දවස පටන් අද දක්වා ගෘහයක වාසය නොකොට කූඩාරමෙන් කූඩාරමටද මණ්ඩපයෙන් මණ්ඩපයටද යමින් හැසුරුණෙමි. 6මාගේ සෙනඟ පාලනයකරන්ට මා විසින් අණකළ ඉශ්‍රායෙල් විනිශ්චයකාරයන්ගෙන් යමෙකුට–නුඹලා මට කිහිරි ලී ගෘහයක් ගොඩනොනැගුවේ මක්නිසාද යන වචනයක් මා සියලු ඉශ්‍රායෙල්වරුන් අතරෙහි හැසුරුණ කොයි ස්ථානයකදීවත් කීයෙම්ද? 7එබැවින් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියව–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා නුඹ වෙන පිණිස තෘණබිමෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද මම නුඹ අහක්කොට ගතිමි. 8නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමඟ සිට, නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාම මෙන් නුඹට නාමයක් උපදවන්නෙමි. 9මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකොට මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියමකොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද මුලදී සිදුවූවාක් මෙන්ද, 10මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට සිදුවූවාක් මෙන්ද දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්තිනොකරන්නෝය; නුඹේ සියලු සතුරන් යටත්කරන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ නුඹට ගෘහයක්#17:10 එනම්-වංශයක්. ගොඩනගන බව නුඹට දන්වමි. 11නුඹේ පියවරුන් ළඟට යාමට නුඹේ දවස් සම්පූර්ණවූ කල, මම නුඹේ පුත්‍රයෙක්වූ නුඹේම දරුවෙක් නුඹට පසුව පිහිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථිරකරන්නෙමි. 12ඔහු මට ගෘහයක් ගොඩනගන්නේය, ඔහුගේ සිංහාසනයද මම සදාකාලයටම ස්ථිරකරන්නෙමි. 13මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහුද මට පුත්‍රයෙක්වන්නේය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහකළාක්මෙන් මම ඔහුගෙන් පහනොකර, 14මාගේ ගෘහයෙහිද මාගේ රාජ්‍යයෙහිද ඔහු සදාකාලේටම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය. 15මේ සියලු වචන ප්‍රකාරයටත් මේ මුළු දර්ශනයේ ප්‍රකාරයටත් නාතාන් දාවිත්ට කීවේය.
16එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ: දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද? 17එහෙත් දෙවියන්වහන්ස, මේකත් ඔබගේ ඇස් හමුවෙහි මදිව, මතු කාලයට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කථාකොට, දෙවිවූ ස්වාමීන්වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූසේක. 18ඔබගේ මෙහෙකරුවාට කළ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්ටද? මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මෙහෙකරුවා දන්නාසේක. 19ස්වාමීන්වහන්ස, ඔබ මේ මුළු මහත් දෙය කොට මේ සියලු මහත් දේ දැන්නුවේ ඔබගේ මෙහෙකරුවා උදෙසාත් ඔබගේ සිතේ හැටියටත්ය. 20ස්වාමීන්වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත, ඔබවහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක්ද නැත. 21ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට සමානව ඉන්නේ පොළොවේ කොයි ජාතියද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ගොස් මිසරයෙන් මුදාගත් ඔබගේ සෙනඟ ඉදිරියෙන් ජාතීන් එළවාදමා, මහත්වූ භයානකවූ දේවල් කිරීමෙන් ඔබට නාමයක් උපදවාගත්සේක. 22මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් සදාකාලයටම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක. 23දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාත් ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදාකාලයටම ස්ථිරවේවා, ඔබ කී ලෙසම කළ මැනව. 24ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේව, ඉශ්‍රායෙල්වරුන් උදෙසා දෙවිකෙනෙක්ව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේයයි කීමෙන් එසේ ඔබගේ නාමය ස්ථිරව සදාකාලයටම උතුම් වේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ. 25මක්නිසාද, මාගේ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවා උදෙසා ඔබ ගෘහයක්#17:25 එනම්-වංශයක්. ගොඩනගන බව ඔබ ඔහුට එළිදරව් කළසේක. එබැවින් ඔබ ඉදිරියෙහි යාච්ඤාකරන්ට ඔබගේ මෙහෙකරුවාට කල්පනාවිය. 26දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබම දෙවියන්වහන්සේය, ඔබගේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දුවූසේක. 27එසේ ඔබගේ මෙහෙකරුවාගේ වංශයට ආශීර්වාදකරන්ට ඔබ ප්‍රසන්නවූයේ එය සදාකාලේටම ඔබ ඉදිරියෙහි පවතින පිණිසය. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ආශීර්වාදකළ බැවින් එය සදාකල්ම ආශීර්වාද ලබන්නේයයි කීයේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy