YouVersion Logo
Search Icon

1 වංශාවලිය 16

16
1ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනවුත් දාවිත් විසින් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ තබා, දවන පූජාවල්ද ශාන්ති පූජාවල්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය. 2දාවිත් දවන පූජාවද ශාන්ති පූජාද ඔප්පුකර නිමවූ විට, ඔහු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේය. 3තවද ඔහු ඉශ්‍රායෙල් මිනිසුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත් ස්ත්‍රියටත් රොටියක්ද මස්කෑල්ලක්ද වියළි මුද්‍රිකඵල කැටියක්ද බැගින් දුන්නේය.
නමස්කාර විධිය නියමකිරීම
4තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සේවයකිරීමටත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වර්ණනාකිරීමටත් උන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියමකෙළේය. 5එනම් ප්‍රධානියා ආසාප්ය, ඔහු ළඟට ශෙකරියා, යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලීයාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ය; මොව්හු වීණාවලින්ද මහ වීණාවලින්ද ගායනාකළෝය; නුමුත් ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්තුවේය; 6පූජකයෝවූ බෙනායාද යහසියෙල්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි නිතරම නළා පිම්බෝය.
7දාවිත් ආසාප්ද ඔහුගේ සහෝදරයන්ද ලවා ස්වාමීන්වහන්සේට ස්තුතිකරවීමට පළමුවෙන් නියමකෙළේ ඒ දවසේදීය.
8 ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්;
ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්.
9උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්;
උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහිකරව්.
10උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්.
ස්වාමීන්වහන්සේ සොයන්නවුන්ගේ සිත් ප්‍රීතිමත් වේවා.
11 ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ බලයද ගැන විමසව්;
උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්
12උන්වහන්සේගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ගේ වංශයෙනි, උන්වහන්සේ විසින් තෝරාගත් තැනැත්තන් වන යාකොබ්ගේ පුත්‍රයෙනි,
13උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයේ විනිශ්චයයන්ද සිහිකරව්.
14උන්වහන්සේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
උන්වහන්සේගේ විනිශ්චයයෝ මුළු පොළොවෙහි තිබේ.
15උන්වහන්සේගේ ගිවිසුම සදාකාලේටත් උන්වහන්සේ අණකළ වචනය පරම්පරා දහසකටත් සිහිකරව්.
16එය උන්වහන්සේ ආබ්‍රහම් සමඟ කළසේක, ඊසාක්ටද දිවුරා දුන් සේක;
17එය උන්වහන්සේ යාකොබ්ට පනතක්ද ඉශ්‍රායෙල්ට සදාකාල ගිවිසුමක්ද කොට ස්ථිරකරමින්:
18නුඹලාගේ උරුම කොටස කොට කානාන් දේශය නුඹට දෙන්නෙමියි කියා
19නුඹලා ගණනින් ස්වල්ප දෙනෙක්ව, ඉතා ස්වල්ප දෙනෙක්ව, එහි විදේශීන්ව සිටියදී කීසේක.
20ඔව්හු ජාතියකින් ජාතියකටද එක රාජ්‍යයක සිට තව සෙනඟක් වෙතටද ගියෝය.
21ඔවුන්ට අයුක්තියක් කරන්ට උන්වහන්සේ කිසිම මනුෂ්‍යයෙකුට ඉඩ නුදුන්සේක;
එසේය, උන්වහන්සේ ඔවුන් නිසා රජුන්ට තරවටුකොට:
22මාගේ අභිෂේකලද්දවුන්ට අතනොගසව්, මාගේ ප්‍රොපේතවරුන්ට අනතුරු නොකරව්යයි කීසේක.
23පොළෝවාසී සියල්ලෙනි, ස්වාමීන්ට ගී කියව්;
උන්වහන්සේගේ ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
24ජාතීන් අතරෙහි උන්වහන්සේගේ මහිමයද සියලු ජනයන් අතරෙහි උන්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියාද පතළ කරව්.
25මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ව බොහෝසෙයින් ප්‍රශංසා කටයුතුව සිටිනසේක.
සියලු දෙවිවරුන්ට වඩා උන්වහන්සේ භයවිය යුත්තෙක.
26මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය.
නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
27ගෞරවයද තේජසද උන්වහන්සේ ඉදිරියෙහි පවත්නේය;
ශක්තියද සන්තෝෂයද උන්වහන්සේගේ ස්ථානයෙහි ඇත්තේය.
28ජනයෙනි, ස්වාමීන්වහන්සේට දෙව්, ගෞරවයද බලයද ස්වාමීන්වහන්සේට දෙව්.
29 ස්වාමීන්වහන්සේගේ නාමයට අයිති ගෞරවය දෙව්.
පඬුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්.
ශුද්ධවූ අලංකාරය ඇතුව ස්වාමීන්ට නමස්කාරකරව්.
30පොළෝවාසී සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියේ වෙවුලමින් සිටිව්.
නොසෙල්වෙන ලෙස ලෝකයත් ස්ථිරව තිබේ.
31ස්වර්ගයෝ සන්තෝෂවෙත්වා, පොළොවද ප්‍රීතිවේවා;
ස්වාමීන්වහන්සේ රජකම්කරන සේකැයි ජාතීන් අතරේ කියත්වා.
32මුහුදත් එහි සම්පූර්ණකමත් ගර්ජනා කෙරෙත්වා;
කෙත් සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වෙත්වා.
33එවිට වනයේ වෘක්ෂයෝ ස්වාමීන් ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නාහ, මක්නිසාද උන්වහන්සේ පොළොව විනිශ්චයකරන පිණිස එනසේක.
34 ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේ යහපත්ය.
උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
35අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබගේ ප්‍රශංසා ගැන ජයඝෝෂා පවත්වන පිණිසත්, අප ගළවා, ජාතීන් අතරෙන් අප රැස්කොට, අප නිදහස්කළ මැනවයි කියව්.
36ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා.
මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය.
37ඉක්බිති ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි නිතරම එක එක දවසට සුදුසු ලෙස සේවයකිරීමට ඔහු පෙට්ටිය ඉදිරියෙහි ආසාප්ද ඔහුගේ සහෝදරයන්ද, 38ඕබෙද්-ඒදොම් සහ ඔවුන්ගේ සහෝදරයන් හැට අට දෙනෙක්ද සිටෙවුවේය; යෙදූතුන්ගේ පුත්‍රවූ ඕබෙද්-ඒදොම්ද හෝසාද දොරටුපාලයන් කොට නියමකෙළේය. 39ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ට අණකළාවූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට, දවන පූජා පුදන පූජාසනය පිට දවන පූජා නිතරම උදය සවස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස, 40පූජකවූ ශාදොක්ද පූජකයන්වූ ඔහුගේ සහෝදරයන්ද, ගිබියොන්හි උස්තැන තිබෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්ට නියමකෙළේය. 41ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නම් සඳහන්කර තෝරාගනු ලැබූ අනික් අයද: ස්වාමීන්වහන්සේගේ කරුණාව සදාකාලයටම පවත්නේය කියා උන්වහන්සේට ස්තුතිකිරීමට නියමකෙළේය. 42ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නියමකරනු ලැබුයේ නළාවලිනුත් අත්තල්වලිනුත් දෙවියන්වහන්සේට ගීතිකා සඳහා තූර්ය භාණ්ඩවලිනුත් ශබ්දකිරීමටය. යෙදූතුන්ගේ පුත්‍රයන්ද දොරටුපාලයන් කොට පත්කෙළේය. 43පසුව මුළු සෙනඟ තම තමුන්ගේ ගෙදරවලට ගියෝය. දාවිත් තමාගේ ගෙදරවාසීන්ට ආශීර්වාදකරන පිණිස හැරීගියේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy